බංගලාදේශයේ අගමැතිනි ෂීක් හසීනා සිය ධූරයෙන් අද (05) ඉල්ලා අස්වූවාය. සති ගණනාවක මාරාන්තික රාජ්ය විරෝධී පෙළපාලි අතර උග්රවන ජනතා විරෝධය හමුවේ ඇයට ධූරය අත් හැරීමට සිදුවිය.
ඇය ඉල්ලා අස්වූ බව හමුදා ප්රධානී ජෙනරාල් වෙකර් උස් – සමාන් ගේ නිවේදනය නිකුත් වූයේ විරෝධතාකරුවන් ඩකා අගනුවර අගමැති නිල නිවසට කඩා වැදී එය අත්පත් කරගැනීමෙන් අනතුරුවය.
මේ වනවිට සිය ධූරයෙන් ඉවත් වූ අගමැතිනී, ෂෙයික් හසීනා ඉන්දියාවට පලාගොස් ඇත. හසීනා සහ ඇයගේ සහෝදරිය රැගත් හෙලිකොප්ටර් යානය ඉන්දියාවේ අගාර්තාලා නගරය වෙත ළඟා වී තිබේ.
හසීනාගේ නිවස අසල වාහනවලින් ගිනිදැල් පැතිරෙන අයුරු ඡායාරූපවලින් පෙන්නුම් කෙරුණු අතර, අවට ප්රදේශ දෙසට කඩා වදින විශාල ජනකායක් පාලනය කිරීමට පොලිසියට නොහැකි විය.
ඩකා හි සේවය කරන සී.එන්.එස්. ඒජන්තරවරයෙක් ප්රකාශ කළේ පෙර දිනයේදී, හමුදාව සහ පොලිසිය ප්රදේශයේ පෙළපාලි ගිය පෙළපාලිකරුවන්ට පහර දී තිබුණු බවය.
රොයිටර් පුවත් සේවයට අනුව, බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක් දීමට හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව ජූලි මස සිට ඇරඹුණ ශිෂ්යයි උද්ඝෝෂණ සමග ඇති වූ ජනතා අරගලය නිසා බංග්ලාදේශයේ අවම වශයෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය ගොස් තිබේ.
හමුදාපති ජෙනරාල් වෙකර් උස් – සමාන් පවසන්නේ, විරෝධතා පවත්වන සිසුන් දැන් සිය නිවෙස් වෙත යා යුතු බවය.







