දිනසේන රතුගමගේ –
මුලතිව් කුරුදුමලේ විහාර භූමියේ පිහිටි හින්දු කෝවිලේ පොංගල් උත්සවයට ගිය දෙමළ වැසියන් පිරිසක් පොලීසිය හා පුරා විද්‍යා නිලධාරීන් විසින් පලවා හැරීමට හේතු දක්වමින් සවිස්තර වාර්තාවක් අගෝස්තු මස 8 වෙනිදා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් ටී. ස්වර්ණරාජා 20 දා පොලීසියට නියෝග කළේය.
ජූලි මස 14 වෙනිදා හින්දු බැතිමතුන් පිරිසක් එම කෝවිලට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදු වූ අතර පොලීසිය හා පුරා විද්‍යා නිලධාරීන් එහිදි දෙමළ ජනයාගේ මානව හිමිකම් උල්ලංඝණය වන ආකාරයට හා ආගමික නිදහසට හා සංහිදියාවට බාධාවක් වන අන්දමට කටයුතු කළ බවට මුලතිව් දේශපාලනඥයින් පිරිසක් විසින් මුලතිව් අධිකරණයේ ගොණු කළ නඩුවක් විමසා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කොට තිබේ.
හින්දු බැතිමතුන් එම කෝවිලේ පොංගල් උත්සවයක් පවත්වන බව මුලතිව් ප්‍රදේශයේ සියළු දෙනාටම දැණුම් දීමෙන් පසුව මුලතිව් පොලීසිය අධිකරණයට පෙත්සමකින් කරුණු දක්වමින් ඊට තහනම් නියෝගයක් ඉල්ලා සිටි නමුත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කොට තිබුණි.
ඒ අනුව මෙම නඩුව අගෝස්තු මස 8 වෙනිදා විභාගයට ගන්නා බැවින් එදිනට එම වාර්තව අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.







