සමන්ති වීරසේකර,
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්නටත් ඔහුගේ පුතා ඇතුළු පවුලේ උදවියටත් පහර දී නිල නිවසට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් කලා පීඨයේ සෙසු සිසුන් දෙදෙනා සැම්බර් මස 22 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර විසින් අද 14 දා පස්වරුවේ නියෝග කර තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බෙලිහුල් ඔය පදිංචි සසංක විකුම් විතාරණ සහ රඹුක්කන පදිංචි එල්ල එම් වික්‍රමසිංහ යන සිසුන්ය.
මෙම සැකකාර සිසුන් ගේ ශිෂ්‍යභාවය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක මණ්ඩලයේ තීරණය මත අහෝසි කරන ලදී.
මෙම සිසුන් දෙදෙනා ගෙන් විකුම් විතාරණ 13 දා පස්වරුවේ පොලීසියට බාර වී තිබිණි. එල්. එම්. වික්‍රමසිංහ ඊයේ 14 දා පෙරවරුවේ පොලිසියට බාර වී තිබිණි.
මෙම පහර දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් ද පරීක්ෂණයක් තවදුරටත් ක්‍රියාත්මක වේ.
මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් 13දා පෙරේදා සහ ඊයේ 14දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකාර සිසුන් දොලොස්දෙනා දෙසැම්බර් මස 22 වැනි දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහාචාර්ය අතුල සේනාරත්න පදිංචිව සිටි නිල නිවසේ ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම සිසුන් 12 දෙනා හඳුනා ගෙන තිබේ.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ අධීක්ෂණය යටතේ පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.







