මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය විසින් පසුගිය 24 වැනි දින අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙක් තමන් සංවිධානාත්මක අපරාධකල්ලිවල අවශ්‍යතාවය මත කුලී ඝාතකයෙක් ලෙස කටයුතු කරමින් පුද්ගලයින් සිවු දෙනෙක් ඝාතනය කළ අයුරු හෙළි කර තිබේ.
මෙම සැකකාර ඝාතකයාගෙන් වැඩිදුර සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී ඊයේ (27) රත්ගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ අවියක් සොයා ගැනීමට ද විමර්ශන අංශ සමත් වි ඇත.
දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පවත්වමින් සැකකාර පුද්ගලයා රට කැළඹූ ඝාතනයන් කිහිපයක වෙඩික්කරු ලෙස ක්‍රියා කර තිබේ.
ඒ අනුව 2024.03.11 අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදු කිරීම සිදුකර ඇත්තේ ඔහු විසිනි. එමෙන්ම ඔහුගෙන් ලද තොරතුරු මත මෙම මිනී මැරුමට ආධාර අනුබල සැපයූ අවුරුදු 28ක පුද්ගලයෙකුද ඊයේ (27) දිනයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
2025.05.03 වන දින මීටියාගොඩ පොලිස් වසමේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම ද ඔහුගේ වැඩකි.
2025.11.28 දින මීටියාගොඩ පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම ආදි සිදුවීම්වලට සැකකරු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කර තිබේ.
පොලිසිය විමර්ශන පවත්වයි.







