මහජන අරගලයක් අවස්ථාවක දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පාර්ලිමේන්තුවේ ඉල්ලීම පරිදි, නැවත විකිණීම සහ අන් සන්තක නොකිරීමේ කොන්දේසි මත මුදල් ගෙවීමෙන් පසු මන්ත්‍රීවරුන් 225 දෙනාටම පිස්තෝල වෙනුවට රිපීටර් තුවක්කු නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම අමාත්‍යාංශය දන්වයි.
එය මීට මාස දහයකට පමණ පෙර පාර්ලිමේන්තු බලධාරීන් හරහා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි ආරම්භ කරන ලද අඛණ්ඩ ක්‍රියාවලියක් බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
රිපීටර් තුවක්කුවක් යනු අතින් නැවත පිරවීමකින් තොරව කිහිප වතාවක් වෙඩි තැබිය හැකි ගිනි අවියකි. එවැනි රිපීටර් තුවක්කුවක් එකවර කාට්රිජ් දහයකින් පුරවා ගත හැකිය.
බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක පැවසුවේ මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කළේ චීනයේ නිෂ්පාදිත පිස්තෝල පමණක් බවත් ඒවායින් බොහොමයක් මේ වන විට අක්‍රියව පවතින බවත් එම නිසා මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු නිකුත් කිරීමට තීරණය කළ බවත්ය.
“එය ජනාධිපතිවරණයට අදාලව තීරණයක් නොවේ. අපි මාස දහයකට පෙර මේ ක්‍රියාවලිය ආරම්භ කළා. දැන් එය ක්‍රියාත්මකයි. ඉල්ලීමක් කරන ඕනෑම මන්ත්‍රීවරයකුට මුදල් ගෙවා රිපීටර් තුවක්කු ලබාගත හැකියි. රජය වියදම දරන්නෙ නෑ,” ඔහු පැවසීය.
අතිරේක ලේකම්වරයා පැවසුවේ අවි නාවික හමුදාවෙන් බෙහෙත් කරන බවය.







