තමන් පහර කෑමකට ලක් වූ බව කියා පෙරේදා (20) ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වීමට පෙර රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරාට එරෙහිව වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබේ.
පාර්ලිමේන්තු ගර්භයෙන් පිටත ලොබියේ දී පහර දුන් බව කියන සිද්ධියෙන් පැය එක හමාරකට පසු පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කළ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉන් පසු වැලිකඩ පොලිසියට ගොස් ඒ සම්බන්ධව පැමිණිල්ලක් සටහන් කිරීමෙන් අනතුරුව 20 වැනිදා සවස ජයවර්ධනපුර රෝහලේ රෝහල්ගතව වූවාය. රෝහල් ගත වි පැය තුනක කාලයකින් පසු ඇය රෝහලින් පිටවී ගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
අනතුරුව සිද්ධියට චෝදනා ලැබූ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ තමන්ට කුණුහරපයෙන් බැණ වදිමින් අත් බෑගයෙන් පහර දුන් බවට පැමිනිල්ලක් සටහන් කර ඇත.
මෙම ගැටුම්කාරී සිද්ධියේ දී ඩයනා ගමගේ ගේ වාග් ප්‍රහාරයට මුල් වූ අනුරාධපුර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ද මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කරමින් තමන්ට අතිශයින්ම නින්දිත පරුෂ වචනයෙන් බැණ වදිමින් ඩයනා ගමගේ පිරිස මැද තමන්ට පහර දෙන්නට පැමිණි බවය.
මේ සිද්ධිය සම්බන්ධව කතානායකවරයාගේ මැදිහත්වීම මත විමර්ශනයක් කරන ලෙසත් එය පාර්ලිමේන්තුවෙන් පිටතට රැගෙන නොයන ලෙසත් විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවේ දී ඉල්ලා තිබිණි.
එමෙන්ම කතානායකවරයා විසින් නියෝජ්‍ය කතානායකවරයාගේ මූලිකත්වයෙන් චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බකීර් මාකර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් සිද්ධිය සඳහා පරීක්ෂණ කිරීමට නම් කර තිබිණි.