දිනසේන රතුගමගේ –
මන්නාරමේ නානාට්ටන් ප්‍රදේශයෙන් ගවයෙකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පේසාලේ පොලීසියේ පොලිස් කොස්තාපල් කනෙකුගේ සේවය 29 දා සිට අත් හිටුවා තිබේ.
එම පොලිස් නිලධාරියා නිවාඩුවක් ලබා ගෙන මන්නාරමේ සිය නිවසට ගොස් සිටියදී තවත් මිතුරන් දෙදෙනෙකු සමග ගවයෙකු සොරකම් කොට ත්‍රී රෝද රථයක පටවා ගෙන යමින් සිටියදී ගම්වාසීන් එම රථය ලුහු බඳිමින් පොලීසියට සිද්ධිය දැණුම් දී ඇත.
පොලීසිය මාර්ග බාධකයක් යොදා ත්‍රී රෝද රථය නවතා පරීක්ෂා කිරීමේදී එය පදවා ගෙන ගොස් ඇත්තේ අදාල පොලිස් නිලධාරියා බව හෙළි වී තිබේ.
ඔහුගෙන් ප්‍රශ්න කරණ අතරවාරයේ ත්‍රී රෝද රථයේ සිටි එක් සැකකරුවකු පලා ගොස් ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්කිවලට අනුව පොලිස් නිලධාරියා ගව සොරකමට සම්බන්ධ බවට තොරතුරු ඉදිරිපත් වීමෙන් පසුව එම පොලිස් නිලධාරියා හා අනෙක් සැකකරු නොවැම්බර් මස 29 ද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
එම නියෝගය පිළිබදව අවධානය යොමු කළ මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අදාල පොලිස් නිලධාරියාගේ සේවය 29 දා සිට අත් හිටුවීමට පියවර ගෙන ඒ සම්බන්ධයෙන් නියෝගයක්ද නිකුත් කොට ඇත.







