ෆවුස් මොහොමඩ්
-
ලිංගික අතවරය අතර දැඩි ශාරීරික පීඩාවට පත් කරලා… තරුණිය මරණ බියට පත් වූ බවට අධිකරණයට තොරතුරු වාර්තා වෙලා…
-
මනෝ උපදේශන සේවයක සහාය අරන්… ඇතිවූ මානසික පීඩනය හේතුවෙන් ගැටලුවක් වී ඇතිදැයි දැනගන්න තරුණිය මොළයේ ස්කෑන් පරීක්ෂණයක් කරගෙන...
-
මෙම ලිංගික එක්වීමට පැමිණිලිකාර පාර්ශ්වයේ එකඟතාව හා කැමැත්ත තිබූ බවට චූදිතයා විශ්වාස කිරීම සාධාරණ යැයි පිළිගැනීමට විමර්ශකයන්ට හේතුවක් නැතැයි ද එම වාර්තාවේ සඳහන්…
-
සංචිතයේ ක්‍රීඩකයින් අයාලේ යනකම් ක්‍රිකට් කළමණාකාරිත්වය නිදාගෙන… රාත්‍රී 8ට පෙර සිට පාන්දර 1 පසුවන තුරු ක්‍රීඩකයා රැඳී සිටින හෝටලයෙන් පිටට ඇවිත් මේ ලිංගික අපරාධයට සම්බන්ධ සිදුවීමේ ඉඳලා…
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ අතවරයට ලක් වූ බව කියන කාන්තාව එම සිදුවීමෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් පසුදින මොලයේ ස්කෑන් පරීක්ෂණයට පෙනී සිටි බව ඊයේ නිකුත් කළ ඔහුට එරෙහි නඩු විභාගයේ අධිකරණ වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
නැගෙනහිර සිඩ්නි නුවර රෝස් බේ නමැති තදාසන්න ප්‍රදේශයක පිහිටි අදාළ කාන්තාවගේ නිවසේදී සිදු වූ බව කියන මේ ලිංගික අතවරය සම්බන්ධව පොලිසිය විසින් ගොනු කළ චෝදනා පත්‍රය සහ නඩු විභාගය සම්බන්ධව මාධ්‍යයට හෙළිදරවු නොකිරීමට පොලිසිය දැඩි උත්සාහයක් ගනු ලැබුවද, ඊයේ එරට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් සිඩ්නි නුවර ප්‍රකට නීතිඥවරයකු වන ඩුයිඩ් සිබ්ටේන් මහතා විසින් උසාවිය හමුවේ ගෙන හැර පෑ තර්කවලට අනුව අධිකරණ වාර්තාව මාධ්‍යයට නිකුත් කිරීමට පොලිසිය එකඟ වූ බව වාර්තා වේ.
නඩුවේ තොරතුරු මාධ්‍යයට.
පැමිණිල්ලේ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා සහ ඇයගේ අනවශ්‍ය පීඩාවන් සහ අපහසුතාවයන් වැළැක්වීම සඳහා නඩුවේ තොරතුරු යටපත් කළ යුතු බවට සිඩ්නි පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවද, පසුව එය ප්‍රතික්ෂේප වී තිබේ.
ඒ අනුව අනාවරණය වන තොරතුරුවලට අනුව ලිංගික අතවරයට ලක්වූ අදාළ කාන්තාව මරණ බියට පත් සිටි බව අනාවරණය වී ඇත. එම සිදුවීමට පසුදින ඇය මනෝ උපදේශන සේවයක සහාය ලබා ඇති බව ද එම වාර්තාවෙන් හෙළි වී තිබේ. මනෝ උපදේශන සේවය ඇමතීමේදී ඇයට සිය හැඬුම් නවත්වා ගැනීමට නොහැකි වූ බවට ද කරුණු වාර්තා වේ.
ලෝක ප්‍රකට ‘ටින්ඩර්‘ මිතුරු ඇසුරු කිරිමේ වෙබ් අඩවියක් ඔස්සේ පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා එකිනෙකා හඳුනා ගැනීමෙන් පසු තමා හමුවීමට බ්‍රිස්බේන් නුවරට පැමිණෙන ලෙස ධනුෂ්ක ගුණතිලක ඇගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද, ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
හමුවුන හැටි….
කෙසේ වුවද පසුගිය නොවැම්බර් මස 2 වැනිදා දෙදෙනා සිඩ්නි නුවරදී මුණ ගැසීමට කතිකා කරගෙන ඇත. ඒ අනුව එදින රාත්‍රී 8.20ට පමණ අදාළ කාන්තාව ඇය දන්නා හඳුනන පුද්ගලයන් පිරිසක් සමඟ ඔපෙරා අවන්හලක සිටියදී ඔහු පැමිණ ඇය මුණ ගැසී ඇතැයි ද, පසුව දෙදෙනා සිඩ්නි නුවර හන්ටර් වීදියේ පිට්සා අවන්හලකට ගොස් රාත්‍රි ආහාරය ගෙන ඇතැයි ද එම වාර්තාවෙන් හෙළි වී තිබේ.
අධිකරණ වාර්තාවට අනුව ඊට පෙර ඔපෙරා අවන්හලේදී දෙදෙනා මත්පැන් පානය කර ඇතැයි ද වාර්තා වේ. රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු දෙදෙනා Circular Quay වීදිය දක්වා ඇවිදගොස් ඇති අතර, එහිදී නගරයේ බෝට්ටු ප්‍රවාහන සේවය ඔස්සේ රාත්‍රී 11.00ට පමණ එම කාන්තාවගේ නිවෙස කරා ගොස් ඇතැයි අධිකරණ වාර්තාවෙන් අනාවරණය වී ඇත. බෝට්ටුව පැමිණෙනතුරු බලා සිටියදි ධනුෂ්ක එම කාන්තාව තුරුළු කරගනිමින් බලහත්කාරයෙන් ඇගේ දෙතොල් සිප ගෙන ඇතැයිද, අධිකරණ වාර්තාවෙන් කරුණු අනාවරණය වී තිබේ.
ගෙදර ඇරලවන්න ආවට පස්සේ…
ඇගේ නිවෙසට පැමිණි වහාම ඔහු ඇය සිප වැලඳ ගනිමින් ලිංගිකව එක්වීමට දැඩි උත්සාහයක නිරත වූ බවත්, ආරක්ෂිත කොපු භාවිත කරන්නේ නම් පමණක් ලිංගිකව එක්වීමට ඇය එකඟ වී ඇති බවත් අධිකරණ වාර්තාවේ දක්වා ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍යය සඳහන් කළේය.
ධනුෂ්ක ගුණතිලක සතුව ඒ මොහොතේ ලිංගික ආරක්ෂණ කොපු තිබී ඇති අතර, එය පලඳින බවට ඔහු විසින් ඇයට ඒත්තු ගැන්වූවද, පසුව ඇගේ නිදන කාමරයේ සයනය අසල බිම ලිංගික ආරක්ෂණ කොපුවක් තිබෙනු ඇය දැක ඇති බව ද එම වාර්තාවේ ඇතැයි බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේය. අවස්ථා කිහිපයකදීම ඇය ඔහුගේ ලිංගික අතවරයට ලක් වූ බව එම වාර්තාවේ සඳහන් වේ.
අදාළ කාන්තාවගේ නිවෙසේ පැය කිහිපයක් ගත කරමින් සිටියදී ඔහු විසින් ඇයට ලිංගිකව මෙන්ම ශාරිරීකව ද වේදනාවක් ගෙන දෙන ආකාරයෙන් හැසිරී ඇතැයි ද, ඇය ඉන් දැඩි කම්පනයට පත්ව ඇතැයි ද කියැවේ.
පසුව ආපසු යෑම සඳහා Uber කුලී රථ සේවයෙන් වාහනයක් ඇණවුම් කරන ලෙස ඔහු ඇගෙන් ඉල්ලා සිටි බව ද එම වාර්තාවේ සඳහන් වන බව කියැවේ. පසුව ඔහු හැඳ පැලඳගෙන අළුයම 1.00 ට මොහොතකට පෙර ඇගේ නිවෙසින් පිටත්ව ගොස් තිබේ.
පොලිසියට පැමිණිල්ලක්
පසුදින උදෑසන වේදනාවෙන් සහ ඉදිමුණු තොල් සහිතව අවදි වී ඇති අදාළ කාන්තාව මිතුරන් දෙදෙනකුට දුරකතන ඇමැතුම් දී ඇතැයි ද, අනතුරුව එම ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානය වෙත ගොස් මේ පිළිබඳ පැමිණිලි කරමින් ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
එහිදී ඇය ධනුෂ්ක ගුණතිලක සමඟ බෙදාගත් කෙටි පණිවිඩ සහ ඇමැතුම් සහිත තොරතුරු ද ලබා දී ඇති අතර, පසුව සිඩ්නි නුවර රෝයල් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලට ගොස් ලිංගික අතවරයෙන් යම්කිසි තුවාලයක් සිදුවී තිබේදැයි පරීක්ෂා කරගෙන ඇතැයි ද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
පැමිණිල්ල ලද සැණින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ පොලිසිය ඇගේ නිවෙසේ නිදන කාමරයේ තිබී ලිංගික ආරක්ෂිත කොපු, ටිෂූ සහ ඇඳ ඇතිරිලි සමඟ ඇඳුම් තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව පසුගිය ඉරිදා අළුයම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි සිඩ්නි නුවර Hyatt Regency හෝටලයේ දී ඔහු අත්අඩංගුවට ගෙන සරී හිල්ස් පොලිස් ස්ථානයට රැගෙන ආ බව අධිකරණ වාර්තාවේ සඳහන් වේ.
විදුලි සෝපානයේ දී අත්අඩංගුවට
සිඩ්නි නුවර මුවර් පාක් ප්‍රදේශයේ සිට කණ්ඩායම් බස් රථයෙන් පැමිණ සිය හෝටල් කාමරයට යමින් සිටි ධනුෂ්ක අත්අඩංගුවට ගනු ලැබුවේ විදුලි සෝපානය තුළදි බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
පසුගිය සඳුදා සිඩ්නි විවර්ලි අධිකරණයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කළ ධනුෂ්ක ගුණතිලක පැමිණිලි පාර්ශ්වයේ ඇතැම් ප්‍රකාශ පිළිගනු ලැබුවද, අකමැත්තෙන් ලිංගිකව එක්වීම හෝ ප්‍රචණ්ඩ ලෙස හැසිරීම සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
එහෙත් එම සිදුවීමේදී පැමිණිලිකාර පාර්ශ්වයේ එකඟතාව හා කැමැත්ත තිබූ බවට චූදිතයා විශ්වාස කිරීම සාධාරණ යැයි පිළිගැනීමට විමර්ශකයන්ට හේතුවක් නැතැයි ද එම වාර්තාවේ සඳහන් වන බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කර තිබේ.
විවර්ලි අධිකරණයේ මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් මහතා සියලු කරුණු සලකා බලා ධනුෂ්ක ගුණතිලකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කර ඇති අතර, ලබන වසරේ ජනවාරි මාසයේ 12 වැනිදාට නඩුව යළි කැඳවා තිබේ.
ඒ අනුව ඉදිරි මාස දෙකක කාලය තුල තවදුරටත් ඔහුට රිමාන්ඩ් බාරයේ සිටීමට සිදුවනු ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.







