-
තරුණයින් දෙදෙනාම ඝාතනය කර ඇත්තේ ඝාතකයින්ට ඉලක්කය පැහැදිලිව හඳුනා ගැනීමට බැරි වීම නිසා බව විමර්ශන අංශ කියයි…
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුට දෙවිනුවර ද්විත්ව ඝාතනය රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවට දැන් කියැවෙමින් ඇත. ඩුබායි හී සිටින මත්කුඩු ජාවාරම්කරුවකු විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවට විමර්ශන අංශ වෙත තොරතුරු ලැබෙමින් තිබේ.
ඝාතන කොන්ත්‍රාත් සම්බන්ධ කතා පියාඹන්නේ මිලියන ගණන්වලිනි. මේ තරම් විශාල මුදලක් ඝාතන කොන්ත්‍රාත් සඳහා ලබා දෙන බවට එකඟතා පල වු බව ඝාතකයින් විසින් විවිධ අවස්ථාවල ලබා දුන් කටඋත්තර වලද සඳහන් වේ. එහෙත් අවසානයේ මේ ඝාතකයින්ට ලැබෙන්නේ ලක්ෂයක් දෙකක් වැනි මුදලක් බව මින් පෙර මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දෙන්නේ ඉතිහාසයේ කිසිම පාතාල ඝාතකයෙක් මිලියන ගණන් කොන්ත්‍රාත් මුදල් ලබා ගත් බවට තහවුරු කළ සාධක හමුවනොවන බවය. මෑත උදාහරණය ගණේමුල්ල සංජීව ඝාතනයයි. ඔහු ඝාතනය කිරීමට යෙදවූ කුලී ඝාතකයාට පොරොන්දු වූ මුදල ලබා දෙන එක පසෙක තබා ඔහුව ආරක්ෂක අංශ වෙත කොටු කරදීමේ ඔත්තුව ඝාතනය සැලසුම්කළ පුද්ගලයින් විසින්ම ලබා දී ඇති බවට ද අදහසක් සමාජ ගත වී ඇත.
දැන් මේ ලක්ෂ 50 කොන්ත්‍රාත් කතාව ගැන විමර්ශන අංශ සැක කරන්නේ මේ අත්දැකීම් සමගය. සැබෑ ලෙසම රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවකට මෙම වෙඩි තැබීම සිදුවී තිබේද? නැති නම් විමර්ශන නොමඟ යැවීමට වැරදි තොරතුරු ඝාතන කොන්ත්‍රාත්කරුවන් විසින්ම සමාජගත කරන්නේදැයි සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් දිනමිණ පුවත්පත වාර්තා කර තිබෙන්නේ මේ පසුබිමෙය.
ඔත්තුකරු සාදයේ මිතුරන් අතර?
මෙම ද්විත්ව ඝාතනය සිදුවන්නේ පසුගිය 21 වෙනිදා රාත්‍රී කාලයේදීය. තරුණයන් දෙදෙනා මිතුරෙකුගේ උපන් දින සාදයකට සහභාගිවී නිවෙස බලා යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය කියයි. වෑන් රථය යතුරුපැදියේ හප්පා පැදි කරුවන් බිම වැටුන පසු ඔවුන්ව වෙඩි තබා ඝාතනනය කර තිබිණි.
උපන් දින සාදය පැවැත්වෙන්නේ දෙවිනුවර කපුගම්පුර නිවෙසකය. එම ස්ථානයට කඩා වැදී වෙඩි තැබීමටද විටෙක ඝාතකයින් සැලසුම් කර තිබි ඇත. උපන්දින සාදය පවත්වන නිවස අසල වාහන ගැවසී ඇති බවට තොරතුරු ලැබී තිබේ. විමර්ශන අංශ සැක කරන්නේ ඝාතනයට තොරතුරු සපයන ඔත්තුකරු උපන්දින සාදයේ ඝාතනය වූ තරුණයින්ගේ මිතුරන් අතර සිට ඇති බවය. සාදය නිම වී තරුණයින් නිවසින් පිටවන විට ඔත්තුකරු විසින් ඔත්තුව ලබා දෙන්නට ඇති බවට විමර්ශන අංශ පවසයි.
ඝාතනය සීසීටීවී කැමරාවල
තරුණයන් දෙදෙනා හඹාගොස් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිටදී ඔවුන් අනතුරකට ලක් කර බිම වැටුන පසු වෙඩි තබා ඝාතනය කරන ආකාරය ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබිණි.
එක් තරුණයෙක් වෙඩිකාගෙන දිවගොස් දිවි බේරාගැනීමට උත්සාහ දරන විට වෙඩික්කරු පස්සෙන් පන්නා ගොස් ඔහුට වෙඩි තබා ඇත. ටී 56 අවියෙන් වෙඩි 30කට වැඩි ප්‍රමාණයක් තබා ඇති බවත් මැගසින් දෙකක් ඒ සඳහා භාවිත කර ඇති බවත් පොලීසිය සැක කරයි. වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ බිම විසිරී තිබී ටී 56 අවිවලට යොදන පතරොම් කොපු 36ක් සහ මිලිමීටර් 09 ගිනි අවිවලට යොදන පතරොම් කොපු 02ක්ද පොලීසිය සොයාගෙන ඇත.
ඉවක් බවක් නොමැතිව වෙඩික්කරුවන් වෙඩි තබා තිබේ. වෙඩි කිහිපයක් අසල නිවෙසක බිත්තියකට සහ ජනේලයකටද වැදී ඇත. විමර්ශන අංශ කියන්නේ තරුණයන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව පලායන වෙඩික්කරුවන් වෑන් රථය වැල්මඩ ප්‍රදේශයේ දී ගිනි තබා ඇති පලා ගොස් ඇති බවය. ගිනිගත් එම වෑන් රථයේ තිබී ටී 56 අවිවලට යොදන මැගසිනයක්ද පොලීසියට හමුවී ඇත. වෙඩි තැබූ ස්ථානයත් වෑන් රථය ගිනි තැබූ ස්ථානයත් අතර දුර මීටර් 800ක් පමණි.
අලුත් ප්‍රවනතාව
මෑත කාලයේදී පාතාල අපරාධකරුවන් ඔවුන් විවිධ අපරාධ සඳහා යොදා ගන්නා යතුරුපැදි සහ මෝටර් රථ ගිනි තබා විනාශ කිරීමේ ප්‍රවණතාවක් පෙනුණි. එසේ ගිනි තබා විනාශ කරනු ලබන වාහන සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එම වාහන සොරාගත් ඒවා හෝ කොටස් එකලස් කළ නීති විරෝධි ලෙස ධාවනයට යොදා තිබූ ඒවා බවය.
මෙම අපරාධය සඳහා යොදා ගත් වාහනය ගිනි තබා ඇත්තේ චැසි අංක සහ එන්ජින් අංක ද මකා දමා බව මූලික විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. එහි සවිකර ඇති අංක තහඩුවද ව්‍යාජ එකක් බව පොලීසිය සඳහන් කරයි. දැන් ඒ පැත්තෙන් සිදුවන විමර්ශන සංකීර්ණ වී ඇත. රජයේ රස පරීක්ෂක මඟින් මකා දමා ඇති වැසි අංකය සහ එංජින් අංකය මතුකර ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කළේය.
මිනී මරුවා කවුද?
මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇතැයි පැවසෙන්නේ දෙහිගෙදර යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්කුඩු ජාවාරම්කාර පවුලක ඩුබායි හී රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පොලීසිය අනාවරණය කරගෙන ඇත.
දෙහිබාලේ නමැති අය විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවත් එම පවුලේම දෙහි රංග නමැති ජාවාරම්කරුද මේ පිටුපස සිටින බවටත් පොලීසිය සැක කරයි. දෙහි රංග නමැත්තාද සිටින්නේ ඩුබායි හී බව පොලීසිය සඳහන් කරයි.
දෙහි බාලේ සහ දෙහි රංග ඇතුළු පිරිස මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිට ඇත්තේ දෙවුන්දර තමිල් නමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු සමඟිනි. දෙවුන්දර තමිල් මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය. එබැවින් මේ වන විට දෙහි බාලේ සහ දෙහි රංග නමැති ජාවාරම්කරුවන් මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටින්නේ රොටුඹ අමිල හා සම්බන්ධ වෙමින් බවටද තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
දෙහි බාලේගේ කොන්ත්‍රාත්තුවකට අනුව ඝාතනය වන්නේ දෙවිනුවර සහ ගන්දර පදිංචි 28 හා 29 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි. මේ අතර සිටින එක් තරුණයෙක් මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයෙක් බවත් අනෙක් තරුණයා අපරාධවලට කිසිම සම්බන්ධකමක් නොමැති අයෙක් බව පොලීසිය සඳහන් කරයි. වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව තිබී ඇත්තේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ තරුණයා බව පොලීසිය සැක කරයි. වෙඩික්කරුවන් දෙදෙනාටම වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඉලක්කය පැහැදිලිවම ඔවුන් නොදන්නා බැවින් විය හැකි බවට පොලීසිය සැක කරයි.
ඝාතනයට හේතුව
ඝාතන කොන්ත්‍රාත්තුවේ ඉලක්කය බවට පත්වූ තරුණයා මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවත් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වූ බල අරගලයක් මෙම ඝාතනයට මුල්ව ඇති බවත් පොලීසිය විශ්වාස කරයි. මත්කුඩු ජාවාරමේ මහා පරිමාණයේ නිරතව සිටින දෙහිගෙදර කණ්ඩායමට ඇති තැන රැක ගැනීම වෙනුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සැක කරයි. ඝාතනය වූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ තරුණයා දෙහිගෙදර කණ්ඩායමේ සාමාජිකයන් තැකීමට ලක්නොකිරීම හා ඔවුන්ට ගරු නොකිරීම ද මෙම ඝාතනයට තවත් එක් හේතුවක් විය හැකි බවට විමර්ශන නිලධාරීන් සැක කරයි.
ඝාතනයට ලක්වූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ තරුණයාගේ මාමාගේ පුතා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට හසුවූ කණ්ඩායමේ සාමාජිකයෙක් බවද පොලීසිය සඳහන් කරයි. මෙරටින් ලබාදුන් තොරතුරකට අනුව ඉන්දියානු වෙරළාරක්ෂක බළකාය විසින් පසුගිය වසරේ නොවැම්බර් 24 සහ 25 යන දෙදින තුළ ඉන්දීය මුහුදු සීමාවේ කළ මෙහෙයුමකදී බහුදින යාත්‍රා දෙකක් සමඟ ශ්‍රී ලාංකීය සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක පමණ ප්‍රමාණයක් ද සමඟිනි. ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් පසුව එම පිරිස මහ මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට මත්ද්‍රව්‍ය තොගය සමඟ භාරදෙනු ලැබීය. ඝාතනය වූ තරුණයාගේ මාමාගේ පුතාද එසේ භාරදුන් අය අතර සිටි බව පොලීසිය සඳහන් කළේය. අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කර ඇත්තේද ඔහු ය.
සැක කරුවන් 04ක් අත් අඩංගුවට
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මූලික විමර්ශන පැවැත්වූ ගන්දර පොලීසිය වෙඩි ප්‍රහාරය එල්ලවී පැය 24ක් යන්නට මත්තෙන් ඊට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ඒ අතර කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා මෙම ඝාතනය ගැන තොරතුරු දැන සිට ඇති බවත් ඔහු ඒ බව ඇයට පවසා ඇති බවත් විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී තිබේ. ඇය දෙහිවත්ත නමැති කණ්ඩායමට සම්බන්ධකමක් ඇති තැනැත්තියක් බව පොලීසිය සඳහන් කරයි. වයස අවුරුදු 30ක් වන ඇය ගන්දර දෙල්ගල්ල පදිංචිකාරියකි.
සෙසු සැකකරුවන් ගන්දර ගන්දරගෙදර, දෙවිනුවර පාළුවත්ත, දෙවිනුවර තල්පාවිල පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි. මෙම ද්විත්ව ඝාතනයට ඔත්තු බැලූ බවට සැක කරන අයද ඒ අතර සිටිති. ඔවුන් අවුරුදු 22, 30 සහ 45 යන වයස්වල පසුවන්නන්ය.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බව මාතර හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා පවසයි. කාන්තාව ඇතුළු සැකකරුවන් සිවුදෙනා ලබන 29 වැනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලී රණසිංහ ඊයේ (23) ගන්දර පොලීසියට අවසර ලබා දී තිබිණි.
මෙම ද්විත්ව ඝාතනයත් සමඟ දෙවිනුවර දෙස සිට මාතර දෙසට අධික වේගයෙන් ධාවනය කළ සැක කටයුතු වැගන් ආර්. වර්ගයේ මෝටර් රථයක්ද මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් හඹාගොස් නවතා එහි රියදුරුව අත්අඩංගුවයට ගෙන තිබුණි.
වත්තල හුනුපිටියේ පදිංචිකරුවෙක් වූ 27 හැවිරිදි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මාතරට පැමිණීමට නිශ්චිත හේතුවක් පැවසීමට නොහැකි වූ තැන සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ ලේඛනාගාරයෙන් තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු 30ක් පමණ රටපුරා අධිකරණ රැසක විභාග වන බවය. දෙවිනුවර ද්විත්ව ඝාතනයට ඔහුගේ ඝෘජු සම්බන්ධයක් මූලික විමර්ශනවලින් අනාවරණය වී නැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය සඳහන් කළේය. මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට මාර්තු 21 වෙනිදා දක්වා වෙඩි තැබීම් 27ක් සිදුව ඇති බවත් එම වෙඩි තැබීම්වලින් 22 දෙදෙනෙක් මියගොස් ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කරයි. ( දිනමිණ වාර්තාවක් ඇසුරිනි)







