උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නව තේරිම් කමිටුව රැස් වී ගනු ලබන තීරණ නිශ්ඡය වීමටත් පෙර සමාජ මාධ්‍යය තුළ සංසරණය වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්වල අවධානයට ලක් වී ඇතැයි වාර්තා වේ.
ඊයේ පළමු වරට රැස් වූ තේරිම් කමිටුවේ මූලික සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.
ඊයේ රැස් වූ නව ක්‍රිකට් තේරීම් කමිටුව ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 සඳහා නායකයින් තිදෙනෙකු පත් කිරීමට සලකා බලමින් සිටින බව සමාජ මාධ්‍ය අනාවරණය කර තිබේ.
ඒ අනුව ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නගෙන් ධනංජය ද සිල්වා වෙත පැවරීමට නියමිතය. දසුන් ශානක විසිවී ගොස් කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග පිළිවෙලින් එක්දින සහ විස්සයි 20 සඳහා නායකත්වය දීමට නියමිත බව වාර්තා වේ.
ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් වීමටත් විස්සයි 20 සහ එක්දින කණ්ඩායම්වල උප නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමටත් නියමිත බව වාර්තා වේ.
සිම්බාබ්වේ එක්දින සහ විස්සයි 20 තරඟාවලිය සඳහා වන සංචිතය අවසන් කිරීම සඳහා තේරීම් කමිටුව ලබන සතියේ රැස්වන විට අවසන් තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.







