ඝාතනය කළ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය රැහැනකින් ගෙල සිරකිරීම නිසා සිදුවී ඇති බව ඊයේ (16) සවස පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් නිගමනය කර තිබේ.
මිනීමැරුමට අදාල සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි විමර්ශන අංශ පවසයි.
ඒ අතර මෙම අවස්ථාවේ සහයට පැමිණි බොරැල්ල කනත්තේ සේවය කරන පුද්ගලයා ඇතුළු කිහිප දෙනෙකුගේ ප්‍රකාශ ද අන්තර්ගතය.
“මම ඔතන ඉඳලා ආවා. එද්දි වාහනයක් නවත්තලා තිබුණා. එයාගේ යාළුවෙක් ද කොහෙද එක්කෙනෙක් කෑ ගහද්දි මම ගිහින් දොර ඇරියා. බලද්දි එයාගේ ඇඟේ වයර් එකක් දාලා තිබ්බේ. දකින කොට සිහිය නෑ. ඔළුව පහත් කරගෙන හිටියේ. අත්දෙක ටේප් එකක් දාලා තිබුණා. එහා පැත්තේ සීට් එකට දාලා එයාව එක්කන් ගියා. කතා කළේ නෑ. වතුරත් දුන්නා අපි.. පොඩ්ඩක් ළා හුස්ම තිබුණා වගේ. යද්දි ඔළුව පහත් කරගෙන හිටියේ,” සිද්ධිය සම්බන්ධව කනත්තේ සේවකයෙක් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4ක් යොදවා අඛණ්ඩ පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.
දැනට කරගෙන යන විමර්ශන අනුව හෙළි වී ඇති තොරතුරු මෙසේය.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වන 51 හැවිරිදි දිනේෂ් ෂාෆ්ටර් පෙරේදා (15) දහවල් 2.05ට පමණ සිය කොළඹ 07 මල් පාරේ නිවසින් පිටත්ව ගොස් ඇත්තේ තමන් සමග කළ ගනුදෙණුවක දී රුපියල් කෝටි 143ක් වංචාකළ බව කියන BT නැමැති ව්‍යාපාරිකයෙක් හමුවී සාකච්ඡාවකට බව ඔහු කළමනාකාරීත්වය දරන සමාගමක විධායක නිලධාරියෙකුට දන්වා තිබේ.
ඒ අනුව විධායක නිලධාරියා ෂාෆ්ටර් ට පවසා ඇත්තේ ”සර් මට සර්ගේ LIVE LOCATION එවන්න” යනුවෙනි.
කෙසේ වෙතත් BT නමින් හඳුන්වන ව්‍යාපාරිකයා හමුවීමට යායුතු බවට එදින පෙරවරුවේ ෂාෆ්ටර් පවසා තිබුණ ද පස්වරුවේදි නිවසින් පිටව ගියේ BT නමැති ව්‍යාපාරිකයා හමුවීමටම ද යන්න පිළිබඳ නිෂ්චිත තොරතුරක් අනාවරණ වි නොතිබිණි.
දිනේෂ් ෂාෆ්ටර් දහවල් 2.05ට පමණ නිවසින් පිටත්ව ගිය බව බිරිඳ අදාළ විධායක නිලධාරියාට දැනුම් දි තිබුණි.
දහවල් 2.48 ට දිනේෂ් ෂාෆ්ටර් විසින් බිරිඳට හා විධායක නිලධාරියාට ඔහු සිටින ස්ථානය සඳහන් වන LIVE LOCATION හුවමාරු කර තිබේ. ඒ අවස්ථාවේ දී ඔහු බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බව තහවුරු වී ඇත.
විමර්ශන අංශ පවසන පරිදි ඊට විනාඩි දෙක තුනකට පසු අදාළ සංඥා බිඳ වැටි තිබේ.
මේ තොරතුරු මත උපන් සැකයෙන් විධායක නිලධාරියා වහාම බොරැල්ල සුසාන භූමිය අසලින් ඇති කිතුල්වත්ත පාර ඔස්සේ රාජගිරිය දෙසට පයින් ගමන් කරමින් සිටිය දී දිනේෂ් ෂාෆ්ටර්ගේ රථය බොරැල්ල සුසාන භූමිය තුළ නවතා ඇති ආකාරය දැක තිබේ.
ෂාෆ්ටර් මහතා වාහනයේ රියදුරු අසුනේ සිටින අයුරුත් රථයේ දොර ඇර දමා ඇති අයුරුත් රථය අසලට ගමන් කරමින් සිටි ඔහු දැක ඇත.
වඩාත් සමීප වනවිට , ෂාෆ්ටර්ගේ දෙඅත් ප්ලාස්ටික් වයරයකින් බැඳ
ගෙල වයරයකින් සිරකර ගැටගසා පපු ප්‍රදේශයද සිරවන ආකාරයෙන් ගැට ගසා ඇති අයුරු ද පෙනී තිබේ.
ඒ අවස්ථාවේ දී දිනේෂ් ෂාෆ්ටර් සිහිසුන් තත්ත්වයේ පසු වී ඇත. විධායක නිලධාරියා හැකි ඉක්මනින් ෂාෆ්ටර්ගේ දෙඅත් හා ගෙල සිරකර තිබු වයර් ගලවා ඔහුගේ මුහුණට මෝටර් රථයේ තිබූ වතුර බෝතලයකින් වතුර ඉසිද්දී ඔහුට කැස්සක් ඇති වී තිබේ .
අදාළ නිලධාරියා කෑ ගසා සහය ඉල්න්නේ ඉන් අනතුරුවය. එම අවස්ථාවේදී සුසාන භූමියේ වළවල් කපමින් සිටි පුද්ගලයින් දෙදෙනකුගේ සහාය ඇතිව වාහනයේ අනෙක් පස අසුනේ හිඳවා වහාම ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබේ. ඒ වනවිට වෙලාව පස්වරු 3.08 පමණ වී ඇත.
පස්වරු 3.15 ට පමණ ජාතික රෝහල වෙත ගෙනැවිත් ඇති ෂාෆ්ටර් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා ඇතුළත් කර ප්‍රතිකාර ආරම්භ කර තිබිණි. එතැනින් දැඩි සත්කාර ඒකකයට මාරු කළ දිනේෂ් ෂාෆ්ටර් 15 රාත්‍රියේදීම මරණයට පත් විය.
මේ වනවිට මූලිකම සිද්ධිය සම්බන්ධව නම කියැවුන බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. ඝාතන සිද්ධිය සම්බන්ධව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල බ්‍රයන් තෝමස්ට එරෛහිව විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
බ්‍රයන් තෝමස් සතුව විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇති බව වාර්තා වූ අතර, මෙම විදේශ ගමන් බලපත්‍ර දෙක සඳහාම අධිකරණය විසින් විදෙස් ගමන් තහනම පනවා තිබේ.
දිනේෂ් ෂාෆ්ටර් භාවිත කළ ජංගම උපාංගය පිළිබඳ විදුලි සංදේශ විශ්ලේෂණ වාර්තාවක් විදුලි සංදේශ සේවා සපයන්නන්ගෙන් ලබා ගැනීමට ද බොරැල්ල පොලිසියට අධිකරණය අවසර ලබා දුන්නේය.







