බාල හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නැවත භාවිතයට පැමිණ ඇති බවට මේ වනවිට ප්‍රකාශ වෙමින් ඇති වාර්තා කරුණු නොදැන කළ ප්‍රකාශ මත පදනම්ව සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ප්‍රමිතියෙන් තොර බව පවසමින් භාවිතයෙන් ඉවත් කළ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවලින් කොටසක් යළි භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය රෝහල්වලට දැනුම් දී ඇතැයි ප්‍රකාශයක් නිකුත් කරමින් මේ ප්‍රවෘත්තිය නිර්මාණය කරන්නේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, සමගි ජන බලවේගයේ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් වෛද්‍ය චමල් සංජීව විසිනි.
කෙසේ වෙතත් විද්‍යාත්මක පැහැදිලිකිරීමක් සහිතව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සිය අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ අදාළ ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් එම ඖෂධය නැවත භාවිතා කළ හැකි බවත්ය.
එම නිවේදනයෙන් වැඩිදුරටත් මෙසේ ද පෙන්වා දෙයි.
ඉන්දියානු සමාගමක් විසින් එරට දී නිෂ්පාදනය කරන ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සඳහා මෙරට ලියාපදිංචිය ලබා දී ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දීය. ඖෂධයේ ගුණාත්මකභාවය, සුරක්ෂිතභාවය පිළිබඳ සායනිකව සහ ඖෂධීය තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමකින් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ඊට අදාළ ලියාපදිංචිය ලබා දී තිබේ.
කෙසේ වෙතත් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබද ගැටලුකාරී තත්වයක් පෙනීගිය බැවින් ආරක්ෂාව හා අවදානම් ඇගයීම් උප කමිටුව මඟින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී ඇත.
නමුත් පසුව මෙරට සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුක්ත බවය.
එමෙන්ම ඉන්දියාවේ මධ්‍යම තත්ත්ව පාලන ආයතනය මඟින් එම ඖෂධය පිළිබඳ කරන ලද තත්ත්ව පර්යේෂණවලින් ද මේ බව තහවුරු වී ඇති තිබේ.
එම වාර්තා සලකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවධානම් ඇගයීම් උපකමිටුව මඟින් එම ඖෂධය තවදුරටත් භාවිතා කළ හැකි බවට තීරණය කර ඇති අතර ඒ බව වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන අතර එම ඖෂධය නැවත භාවිතා කළ හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එම නිවේදනයෙන් අවධාරණය කරයි.







