ශ්‍රියානි විජේසිංහ –
ඔබේ දරුවා වෙනාදාට වඩා මුදල් වැඩියෙන් ඉල්ලා සිටින්නේ නම් , ගමන් බිමන් වැඩිනම් හා අනවශ්‍ය ලෙස මිතුරන් ඇසුරු වැඩිනම් ඒ පිලිබඳව දෙමාපියන් වහාම අවධානය යොමු කරන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරයි .
මේ වන විට පාසල් දරුවන් අතර සහ යෞවනයන් අතර අයිස් මත්ද්‍රව්‍ය විවිධ ස්වරූපයෙන් පැතිර යාමට පටන් ගෙන ඇති බැවින් එයින් දරුවන් මුදවා ගැනීමට දෙමාපියන්ට විශාල කාර්ය භාර්යයක් පැවරී ඇති බව ද ඇය පෙන්වාදේ.
විශේෂයෙන්ම Whats App group හරහා දරුවන් ඒකරාශී වන වැඩපිළිවෙළ තුළදී දෙමාපියන් ඒ පිටුපස විමසිලිමත්ව සිටිය යුතු බව එසේ නොවුවහොත් දරුවන් විනාශය කරාම ඇදී යනු ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් ඇය අවධාරණය කළාය.
විශේෂයෙන්ම මුහුණු පොත හරහා සංවිධානය කරන නත්තල් උත්සව අලුත් අවුරුදු උත්සව සඳහා දරුවන්ට සහභාගිවීමට ඉඩ ලබා නොදෙන්නැයි ඇය දැනුම්දේ.
මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති විපාකයන් පිලිබඳව මේ වන විටත් දරුවන් දැනුවත් කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා වැඩසටහන් ආරම්භ කර ඇති බවද ඇය සඳහන් කළාය.
පාසල් දරුවන්ගේ ජීවන කුසලතා වැඩිවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව වැඩසටහන් ගණනාවක්ම ආරම්භ කර ඇති බවත් මේ හරහා දරුවන්‌ගේ මනස යහපත් දේ සඳහා යෙදවෙනු ඇති බවත් ඇය පෙන්වාදේ.







