තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ සභාපතිවරයා පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධව යළි සිහි කැදවීමක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ලිපියක් යවා තිබේ.
ඊයේ (01) එම ලිපිය කථානායකවරයාට යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දන්වා සිටින්නේ කතානායකවරයා මෙම කාරණය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන සැලකිය යුතු කාලයක් පුරප්පාඩුව පවතින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ සභාපති තනතුර පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ජනතා විශ්වාසය ආරක්ෂා කරගනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.
2025 මාර්තු 9 වන දින විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේය. 2025 මැයි 28 වන දින, නීතිඥ සංගමය කතානායකවරයාට ලිපියක් යවමින් දන්වා සිටියේ එම ලිපිය ලියන දින වන තෙක් ඉල්ලා අස් වූ සාමාජිකයාගේ පුරප්පාඩුව පිරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව අපොහොසත් වී ඇති බවය.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ දක්වා ඇති පරිදි කොමිසමේ සභාපතිවරයා ගේ කාර්යභාරය, කොමිසමේ ඵලදායී ක්‍රියාකාරිත්වයට සහ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ මහජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීමට ඉතා වැදගත් වන බැවින් එම තනතුරු පූරණය කර තොරතුරු දැනගීමේ අයිතිවාසිකම් කොමිසම ක්‍රියාත්මකවීම සහතික කරන ලෙස ද නීතිඥ සංගමය එ ලිපියෙන් යළිත් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේය යැවූ එම ලිපියට සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් අත්සන් කර තිබේ.







