දැනට ශ්‍රී ලංකාව තුළ නොසලකා හැරිමට ලක් කර ඇති, තායි රජය විසින් රාජකීය ත්‍යාගයන් සේ ප්රදානය කරන ලද තවත් ඇතුන් දෙදෙනෙක් යළි සිය රටට ගෙන්ව ගැනීම වහාම ක්රියාත්මවක වන පරිදි කටයුතු සැලසුම් කිරීමට තායි අගමැති අනුටින් චාන්විරකුල් “ගේ අවධානයට යොමු වී ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙසේ සිය රටට යලි ගෙන්වා ගැනීම ගැන සලකා බලමින් ඇත්තේ “ප්ලයි ශ්‍රීනාරොං” සහ “ප්ලයි ප්‍රාතු ෆා” යන තායි අලි ඇතුන් දෙදෙනාය.
මෙම ගෙන්වා ගැනීම සඳහා වූ මූලික රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා බලන බ්‍රහස්පතින්දා (28) තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.
ෙමේ ආකාරයෙන්ම නොසලකා හැර වද බන්ධනයට පත් කර තිබු දෙරටේ මිත්‍රත්වය තහවුරු කිරීමේ සංකේතයක් ලෙස තායිලන්ත රජතුමා විසින් ශ්‍රී ලංකාවට ප්රදානය කර තිබු ප්ලයි සක් සුරින් ලෙස හැඳින් වු හස්ථියා ලෝක අවධානයක් සහිත මෙහෙයුමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ සිට යළි තායිලන්තය වෙත රැගෙන ගොස් තිබිණි.
මේ මෙහෙයුමෙන් පසු නොසලකා හරින ලද විදේශයන්හි වෙසෙන තායි අලි ඇතුන් නැවත සිය රටට ගෙන්වා ගැනිම සම්බන්ධව මහජන අවධානය ද වැඩි වශයෙන් යොමු විය.
දැනට තායිලන්ත රජය විසින් යළි සිය රටට ගෙන්වා ගැනීමට සැලසුම් කරන ප්ලයි ශ්‍රීනාරොං” ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ වර්ෂ 2001 දීය. ප්ලයි ප්‍රාතු ෆා ලංකාවට පැමිණ ඇත්තේ වර්ෂ 1980 දී ය. තායි මාධ්‍ය වාර්තා කරන්නේ ආගමික උත්සවවල අධික වැඩ බර හේතුවෙන් දැන් මේ හස්තීන් දෙපළ දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටින බවය. මේ තත්ත්වය තුළ මෙම ඇතුන් නැවත ගෙන්වා ගැනීම සඳහා වන මහජන ඉල්ලීම් වැඩි වී ඇති බවත් ඒ තත්ත්වය තුළ තායි රජයේ මෙම ව්‍යාපෘතියට මැදිහත් වී ඇති බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.
තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචර්ට් චොම්ක්ලින් බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත තහවුරු කර ඇත්තේ අගමැති අනුටින් චාන්විරකුල් මෙම ඇතුන් දෙදෙනා තායිලන්තයට නැවත ගෙන ඒම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්ට එකඟ වී ඇති බවය. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිවෙළක් කරගැනීම සඳහා යම් කාලයක් ගත වුව ද ඇතුන් දෙදෙනා නැවත පැමිණීමට පහසුකම් සැලසීමට රජය අදාළ සියලුම ආයතන සමඟ සම්බන්ධීකරණය කරන බවය.
මේ සාකච්ඡා යන අතරතුර තායිලන්ත පරිසර අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයාත්, වනජීවී සහ ශාඛ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාත්, ඇතුළු පරිසර අමාත්‍යාංශයේ කණ්ඩායමක් ලංකාවට පැමිණ මෙම ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍යය තත්ත්වය තහවුරු කරනු ඇතැයි තායිලන්ත මාධ්‍යවල දැක්වේ.
ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තායිලන්තයේ පලවන තොරතුරු –
ඇතුන් දෙදෙනාම අධික ලෙස වැඩ කර ඇති බවත්, එය සෞඛ්‍ය ගැටළු වලට තුඩු දී ඇති බවත් මූලික සෞඛ්‍ය වාර්තාවලින් අනාවරණය වන බව තායි මාධ්‍ය වාර්තා කියයි. නමුත් ඔවුන් තවමත් මින් පෙර ලංකාවෙන් තායිලන්තය වෙත ගෙන්වා ගත් “ප්ලයි සක් සුරින්” වැනි දරුණු රෝග ලක්ෂණ පෙන්වා නැති බව සඳහන් කර ඇත.
ලංකාවට පැමිනෙණ තායිලන්ත නියෝජිත කණ්ඩායම ලබා ගන්නා සෞඛ්‍ය තක්සේරුවලින් ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමට ලක්ව ඇතැයි අනාවරණය වන්නේ නම් ඔවුන් යළි තායිලන්තයට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමේ හැකියාව සම්බන්ධව අවධානය යොමුවනු ඇතැයි පැවසේ.
“සාකච්ඡා සාර්ථක වුවහොත්, තායි අලි හසුරුවන්නන්, ජාතික අලි ආයතනයේ පශු වෛද්‍යවරුන් සහ ප්‍රවාහන කටයුතු සම්බන්ධ කර ගනිමින් 2023 දී ‘ප්ලයි සක් සුරින්’ නැවත රැගෙන පැමිණි සැලසුමේ ආකෘතියම අපි භාවිතා කරනවා..,” තායිලන්ත පරිසර ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
සමස්ත ක්‍රියාවලියටම ශ්‍රී ලංකා රජයෙන් සහ අලි දෙදෙනා අයත් පන්සල් දෙකෙන්ම අන්‍යෝන්‍ය කැමැත්ත ලබා ගත යුතු බව ද තායි පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
වර්ෂ 2001 සිට 2016 දක්වා, තායිලන්ත රජය, ශ්‍රී ලංකාව, ඩෙන්මාර්කය, ජපානය, ස්වීඩනය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් පහකට අලි ඇතුන් 20 දෙනෙකු තායිලන්තයේ සංස්කෘතික නියෝජනයන් ලෙස යවා ඇත.







