සම්පත් ද සේරම්,
විධායක අධ්‍යක්ෂක. මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය.
ශ්‍රී ලංකාව තුළ ගංජා වගාව නීති ගත කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ සිට විවිධ උත්සහයන් ඉතාමත් සූක්ෂම අයුරින් ක්‍රියාත්මක වන බව පැහැදිලි ය. අපනයනය සඳහා ගංජා වගා කිරීම සහ ඒ ආශ්රිත ඖෂධ නිෂ්පාදනයට ව්‍යාපෘති යෝජනා කැඳවීම මේ වන විටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය හා දේශිය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇත. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ ගංජා අපනයනය කර ආර්ථික වාසියක් අත්පත් කර ගැනීමට හැකි බවත්, එමගින් විදේශ විනිමය රටට අත්පත් කර ගත හැකි බවත් ය. එම ප්‍රකාශ සත්‍යයෙන් තොර වන අතර ඒ බව විදේශීය ගංජා සමාගම්වල ගිණුම් වාර්තා විමසා බැලීමෙන් මනාව තහවුරු වේ. අධික සැපයුම, වෙළඳපොළ ඉල්ලුම සහ වෙළඳපොළ කොටස කුඩා නිසා ලොව විශාලතම ගංජා සමාගම් ඩොලර් බිලියන ගණන් වලින් පාඩු ලබන්නේ වසර කිහිපයක සිට ය.
ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති ගංජා සන්තකයේ තබා ගැනීම, වගා කිරීම සහ විකිණීම තහනම් කර ඇතත් ත්‍රෛලෝක විජය පත්‍ර යන නාමයට මුවා වී ගංජා වගාව ප්‍රචලිත කිරීම මෙහි මූලික අරමුණ වේ. මෙවැනි ඖෂධීය නාමයන් මුල් කර ගනිමින් ගංජා ව්‍යාප්ත කිරීමේ විශාල උත්සාහයක බහු ජාතික ගංජා ව්‍යාපාරය කටයුතු කරමින් සිටී.
![](http://lankasara.com/wp-content/uploads/2022/10/Cannabis-smoking-012.jpg)
ගෝලීය වශයෙන් දුම්වැටි භාවිතය අවම වෙමින් පවතින කාල වකවානුවක ගංජා ව්‍යාපාරයක් ලෙස ලොව පුරා ක්‍රියාත්මක කිරීමට දුම්කොළ සමාගම් මේ වන විටත් මුදල් යොදවයි. ගංජා ප්‍රවර්ධනය කිරීම දුම්කොළ සමාගම්වල තවත් කූඨ උපක්රමයකි.
දේශීය සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර සිටින්නේ මෙම වගාව අපනයන සඳහා මිස කිසිදු අයුරකින් රට අභ්‍යයන්තරයට ඒමට අවකාශ නොමැති බවයි. මෙය හුදු ප්‍රකාශයක් මිස මෙවැනි තත්වයක් ප්‍රයෝගිකව ඉටු කළ නොහැකි බවට වර්තමාන මත්ද්‍රව්‍ය ගැටලුව හොඳම නිදසුනකි. නීතියෙන් තහනම් වූ මත්ද්‍රව්‍ය අප රට තුළ කෙතරම් සුලභව ලබා ගත හැකි ද යන වග අප හොඳින් දන්නා කරුණකි. මෙය අපනයන සඳහා පමණක් සීමා වූවක් බව පැවසුවද රට අභ්‍යයන්තරයට ගලා ඒම වැළැක්වීම ඉතාම අපහසු සහ ප්‍රයෝගික නොවන අදහසකි.
මේ වන විටත් ගංජා විවිධ ආකාරයෙන් නිතීගත කළ රටවල් විවිධ අනපේක්ෂිත ගැටලු ගණනාවකටම මුහුණ දී එම රටවල්වල මත්ද්‍රව්‍ය ප්රශ්නය තවදුරටත් බැරුරෑම් කර ඇත. තායිලන්තය ගංජා නීතිගත කිරීම ආපසු හැරවීමට කටයුතු කිරීමට සුදානම් වීම එයට කදීම නිදසුනකි.
ගංජා ප්‍රවර්ධනය බලාපොරොත්තු වන පාර්ශව විසින් ශ්‍රී ලංකාවේ වැසියන් දැනට මුහුණ දෙමින් සිටින බලවත් ආර්ථික අර්බුදය සිය වාසියට හරවාගෙන ඒ හරහා තම අරමුණු මුදුන්පත් කර ගැනීමේ වෑයමක නිරත වන බව පැහැදිලි ය. විශේෂයෙන් ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය කරුණු ගණනාවකින් බැටකමින් සිටින අවස්ථාවක ගංජා වගාව කප් රුකක් ලෙස පෙන්වන මෙම නාටකයේ ප්‍රතිඵලය වන්නේ අප තව දුරටත් මෙම අර්බුදය තුළ හිර කරමින් තව තවත් දුක්ඛිත තත්වයකට පත් කිරීම ය.
ගංජා පිළිබඳව ධනාත්මක ආකල්ප සමාජය තුළ ඇති කිරීම නිසා ගංජා භාවිතය තව දුරටත් ප්‍රචලිත වන බව පැහැදිලි ය. මේ නිසා ළමුන් සහ තරුණයන් තවදුරටත් මත්ද්‍රව්‍ය වලට පෙළඹීමේ ප්‍රවණතාවය වැඩි වන අතර අප රට තුළ ඇති මත්ද්‍රව්‍ය ගැටලු තව තවත් උග්‍ර වීමට මෙය හේතුවක් වේ.
ඒ අනුව අපනයනය සඳහා යැයි කියමින් ගංජා වගා කිරීමට ඉඩ දීමෙන්, නුදුරු අනාගතයේ දී රටක් ලෙස දැනට ඇති මත්ද්‍රව්‍ය හා බැඳී ඇති ගැටලු වලට අමතරව නව ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදු වනු ඇත. එබැවින් මෙම ක්‍රියාවලිය කඩිනමින් නතර කළ යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) තරයේ අවධාරණය කර සිටි.