මිනී මැරුම් චෝදනාවකට බන්ධනාගාරතව සිට ඇප මත නිදහස් වී සිටින හිටපු හමුදා සෙබලෙක් බීමතින් ත්‍රි රෝද රථයක් ධාවනය කරවමින් ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ ගමන් ගත් නිල රථය හරස් පොලිස් අධිකාරීවරයාගේ රියදුරු වූ පොලිස් කොස්තාපල්වරයාට පහර දී පොලිස් අධිකාරීවරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දෙන්නට පැමිණි පුවතක් ඇඹිලිපිටියෙන් වාර්තා වේ.
ඇඹිලිපිටිය නගර මධ්‍යයේ කලහකාරී ලෙස හැසිරුණ මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු පොලිස් අධිකාරීවරයාගේ අතක් සහ රියදුරු පොලිස් කොස්තාපල්වරයාගේ අත් දෙකම හපා කා තුවාල සිදුකර ඇති අතර ඔහුව ආයාසයෙන් අත් අඩංගුවට ගෙන ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ විජේසේකර පතිරණගේ ඉසුරු මධුසංඛ නැමැති ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය
ඊයේ සවස ඇඹිලිපිටිය පොලිස් අධිකාරී සුදත් මාසිංහ පොලිස් රියදුරු ජේසුදාසන් නැමැති කොස්තාපල්වරයාත් සමග සිය නිල රථයෙන් ගමන් කරමින් සිට ඇත.
එහෙත් ඇඹිලිපිටිය ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක් ඉදිරිපිට දි අ ත්‍රි රෝද රථයයක් පොලිස් අධිකාරීවරයා ගමන් ගත් මග හරස් කර නවත්වා තිබේ. ඒ අවස්ථාවේ දී පොලිස් රියදුරුවරයා රථයෙන් බැස තමන් පොලිස් නිලධාරියෙක් බව පවසමින් මාර්ගය හරස් කර ඇති රථය ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇත.
ඒ අවස්ථාවේ දී ත්‍රී රෝද රථයෙන් බැස පැමිණි පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාට අනපේක්ෂිත ලෙස පහර දෙන්නට පටන් අරන් ඇත.
වහාම රථයෙන් බැස පැමිණි පොලිස් අධිකාරීවරයා ගැටුමට මැදිහත් වී වහාම රථය අවහිර වූ මාර්ගයෙන් ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමත් සමග මෙම පුද්ගලයා පොලිස් අධිකාරීවරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දෙන්නට පැමිණ තිබේ.
මේ හැසිරීම පිළිබඳ සැක සිතූ පොලිස් අධිකාරීවරයා අපේක්ෂ කළ අයුරින්ම මෙම පුද්ගලයා දැඩි සේ බීමත්ව සිටින බව පෙනී ගොස් තිබේ.
බීමතින් වාහනයක් පදවමින් පොලිස් අධිකාරීවරයාගේ නිල රථය හරස් කර පොලිස් නිලධාරියෙකුට පහර දුන් මේ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ඔහු පොලිස් අධිකාරීවරයාගේ එක් අතක් සහ පොලිස් රියදුරුගේ දෑතම තුවාල ඇතිවන සේ හපා කා ඇත.
කෙසේ හෝ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිව පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට රැගෙන විත් තිබේ. තුවාල ලත් පොලිස් අධිකාරීවරයා සහ පොලිස් රියදුරා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇත.
බීමත් සැකකරු ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
පසුව සැකකරු ගැන සෙවීමේ දී හමුදාවෙන් ඉවත් වී සිටින මෙම පුද්ගලයා මිනී මැරුමකට බන්ධනාගාරගත කර සිට ඇප මත නිදහස්ව සිටින අයෙක් බව හෙළි වී ඇත.







