මනම්පිටිය නිමල් ජයරත්න –
වර්තමානයේ රටේ සිටින්නේ ඡන්දදායකයන් නොව පාරිභෝගිකයන් බවත්, සිමෙන්ති, තහඩු, මෙන්ම බඩු පාර්සල්, ලබා දෙනවානම් ඕනෑම අයෙකුට චන්දයක් ලබා දෙන්නට එම පාරිභෝගිකයින් සුදානම් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේය.
මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ සිවිල් සංවිධාන සමඟ කරනු ලබන සාකච්ඡාව සහ දේශපාලන පක්ෂ සමඟ අදහස් යෝජනා ලබා ගැනීම වෙනුවෙන් පැෆරල් සංවිධානය මගින් ඊයේ ( 04 ) පොළොන්නරුව රුවින්ස් ඡායා හෝටලයේදී සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව සමන් රත්නායක මාධ්‍ය ඉදිරියේ දී මේ බව ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ද කීවේය.
” මැතිවරණ සම්බන්ධව පවතින නීති රීති වෙනස් කරන්න ඉදිරි වසර තුන හොඳම කාලයයි. පළාත් සභා ක්‍රමයෙන් පුරවැසියන්ට ලැබෙන දෙයක් නැහැ. පළාත් සභාව වෙනුවට විකල්පයක් ලෙස දිස්ත්‍රික් පාලන ක්‍රමය තමයි හොඳ. ඒකෙන් දිස්ත්‍රික්කයට එක් දේශපාලනඥයෙක් ඡන්දයෙන් පත් කරගන්න ඕනේ.”
“ අද කිසිම පක්ෂයකින් ගම්මානවල ශාඛා සමිති සමිති නෑ. දිස්ත්‍රික් කාර්යාල නෑ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් හෝ පළාත් පාලන මන්ත්‍රීන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති මොනවද කියලා ඇහුවොත් ඒ දන්නෙත් නෑ. මේ තත්ත්වය අප තේරුම් ගත යුතුයි”
“අපේ උත්සාහය හෑම කෙනෙකුටම ඡන්ද අයිතිය ලබාදෙන්න… සිරකරුවන්ටත් ඡන්දය අයිතිය ලැබිය යුතුයි. ඒ සඳහා බන්ධනාගාරයේ පවතින නීතිරීති වෙනස් කරන්න ඕනේ. විදේශගත පුරවැසියන්ට ඡන්දය භාවිතා කිරිමේ අවස්ථාව ලබාදිය යුතුයි. “
සිය 30 වසරක සේවයෙන් ලබන 13 වැනිදා විශ්‍රාම ගන්නා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පැෆරල් සංවිධානයේ පොළොන්නරුව,මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මාතලේ යන දිස්ත්‍රික්කවල සිවිල් ක්‍රියාකාරීන් විසින් විශේෂ ඇගයීමක් ද එදින සිදුකරන ලදී.







