කුරුන්දි විහාරයේ නඩුවට අදාල විනිසුරුවරයාට මරණීය තර්ජජන එල්ල වී ඉල්ලා අස්වීම සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රටේ අවස්ථාවාදී දේශපාලනය දේශපාලන වාසි තකා විවිධ මුහුණුවරින් ජාතිවාදී ප්‍රවේශයන් නිර්මාණය කරන ආකාරය සම්බන්ධව සිදුකළ දීර්ඝ විස්තරයක් අතරය.
මන්ත්‍රීවරයා සිය කතාව අතර මෙසේ ද පැවසුවේය.
පාස්කු ප්‍රහාරය දක්වා පැමිණි ගමන් මග විමසා බැලුවහොත් හෙළි වන්නේ යුද්ධයෙන් පසු නැවත බෙදීමක් අපේක්ෂා නොකළ, සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය ගොඩනැගීම ඔබේ අපේක්ෂාව බවට පත්වී තිබුණා. නැගෙනහිර ප්‍රදේශය බාරව සිටි ආඥාපතිවරයා අසීරුවෙන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමෙන් පෙන්වන්නේ නැවත බෙදීමක් නොවෙයි. ජාතික සමගියයි. ඔබගේ අපේක්ෂාව ජාතියක සමගිය වුවත් පාලකයාගේ අපේක්ෂාව කවදාවත් ජාතික සමගිය වී තිබුණේ නැහැ. පාලකයන් සිංහල, මුස්ලිම් ජනයා අතර, බෙදීමක් ඇති කළා. යුද්ධය පැවති කාලයේ මුස්ලිම් ජනතාව එල්.ටී.ටී.ඊ. එකට විරුද්ධව විශාල සහයෝගයක් හමුදාව වෙත ලබාදුන්නා. යුද්ධයෙන් පසුව ඒ අය වෙන පැත්තකට තල්ලු කර බෙදීමක් නිර්මාණය කළා. 2015 බලය අහිමි වූ කණ්ඩායමට යළි බලය අත්පත් කර ගැනීමට නැවත සැකය සහ බෙදීම උතුරෙන් ආරම්භ කරන්න උත්සාහ කළා. “යළි කොටි නැගිටියි” කියලා විශාල ප්‍රචාරයක් ගෙන ගියා. 2015න් පසුව ඔවුන්ගේ ශබ්ද කෝෂයේ එවැනි දෙයක් පාවිච්චි කළත් ඔබ හෝ උතුරේ අම්මා, තාත්තා හෝ එවැන්නක් කිසිසේත්ම අපේක්ෂා කළේ නැහැ. උතුරේ අම්මා තාත්තාට තිබෙන්නේ අපිට දරුවන් කෙරෙහි තිබෙන අපේක්ෂාවම තමයි. උතුරේ යළි සන්නද්ධ බලපෑම් සහිත කණ්ඩායමක් නැගී සිටීමට තිබෙන ඉඩකඩ අවමයි. නමුත් උතුරේ කිසියම් පහර දීමක් සිදුවුව හොත්, මන්නා ප්‍රහාරයක් එල්ල කිරීම පවා යළි කොටි නැගිටියි කියන ප්‍රවෘත්තියට යොදා ගත්තා.
නමුත් ඒ යළි කොටි නැගිටියි කියන කතාව 2017 වන විට අත්හැර සහරාන්ගේ වලිගයේ එල්ලී වෙන සාකච්ඡාවක් නිර්මාණය කළා. ‘වඳ කොත්තු’, ‘වඳ ඇඳුම්’, ‘වඳ දොස්තරවරු’ ආදිය ගැන ප්‍රචාරය කරමින් “ජාතිය අනතුරේ” යනුවෙන් අලුත් දේශපාලන වචනයක් නිර්මාණය කළා. 2050 වන විට සිංහල ජාතිය සුළු ජාතිය බවට පත්කර, මුස්ලිම් ජාතිය බහුතරය වන බවට ප්‍රචාරය කළා. යුද්ධය අවසන් කිරීමට මැදිහත් වූ හමුදා නිලධාරීන් දෙමළ භාෂාව ඉගෙන ගන්න අතර පාලකයන් ජාතිවාදය වපුරා පාස්කු මහා ප්‍රහාරයට පසුබිම හැදුවා. 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලියැවුණේ 2019 අප්‍රේල් මාසයේ 21දා. නොවැම්බර් 17 දින කළේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ එක. 2019 අගෝස්තු පමණ වන විට රට ගිනි ගන්න ඔන්න මෙන්න තත්වයට පත්කර තිබුණා. ඒ ගමන්මඟේ ප්‍රතිඵලය නොවැම්බර් 17 දින නිකුත් කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් කිහිපදෙනෙකුට ඇඟිල්ල දිගුවී තිබෙනවා. සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ නැහැ. මේ කළු පැල්ලම ඉතිහාසය පුරාම සමස්ත හමුදාවට සහ සමස්ත බුද්ධි අංශයටම පවතින්න ඉඩදෙන්න ඕනෑද? එහෙම නැතිනම් නිවැරදි පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු අය සොයාගත යුතු නැද්ද? ප්‍රහාරය වළක්වා ගන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස අසමත් වූ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුකොට තිබෙනවා. ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙනුත් එම තීන්දුව ලබාදී තිබෙනවා.
මේ ප්‍රහාරය දේශපාලනික වුවමනාවක් වෙනුවෙන් මෙහෙය වූ බවට චෝදනා එල්ල වී තිබෙන කණ්ඩායම සහ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළාය කියන මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම දෙගොල්ලෝම ආණ්ඩුවේ එකට ඉන්නවා. මේ නිසා නිසි පරීක්ෂණයක් සිදුකරන්නේ නැහැ. මෙය හුදු ත්‍රස්ත ක්‍රියාවක් ඉක්මවා ගිය දේශපාලනයක් තිබෙනවා නම්, එවැනි ප්‍රහායරක් යළි ඕනෑම අවස්ථාවක අපේ රටේ සිදුවිය හැකියි. ඒ නිසා රටේ ආරක්ෂාව නිසි පරිදි තහවුරු කරන්න නම්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණයක් සිදුකොට වගකිවයුත්තන්ට දඬුවම් කිරීම ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ සිදුකරනවා. දැන් අලුත් වටයකින් ජාතිවාදයක් මතුකරන්න උපරිම වශයෙන් උත්සාහ කරනවා. කුරුන්දි විහාරයේ නඩුවට අදාළ තීන්දුව දීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයාට මරණීය තර්ජන එල්ල වූ බව කියමින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කළ බව කියනවා. මෙය සත්‍යයක් නම්, රට කොතැනද තිබෙන්නේ. තමන්ට එකඟ විය නොහැකි විනිශ්චයන් දෙන මහේස්ත්‍රාත්වරුන්ට ඝාතන තර්ජන එල්ලවෙනවා නම්, ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු සත්‍යය හෙළිකරන පරීක්ෂණයක් සිදුකළ යුතුයි. යුද්ධය අවසානයෙන් පසුව ඔබ ජාතික සමගියක් අපේක්ෂා කළත් පාලකයන්ට කවදාවත් එවැන්නක් ඕනෑ වුණේ නැහැ. බෙදීම් පවත්වාගෙන යාම ඔවුන්ගේ එකම දේශපාලන ව්‍යාපෘතිය බවට පත්කරමින් යළි යළි එයම ගෙන එන්න උත්සාහ කරනවා.
එදා ජනතාවත් නොවෙයි අද ඉන්නේ. අපි යන යන තැන දහස් ගණන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් අප වටා එකතු වී සිටිනවා. ජනතාව අලුත් දේශපාලනයක් අපේක්ෂා කරනවා. ඔබ සියලු දෙනාත් අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින් හෝ බිඳවැටීමට ඉඩනොදෙන බවට සහතික වෙනවා.







