දිනසේන රතුගමගේ –
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට තර්ජනය කරමින් පාර්ලිමේන්තුවටම තර්ජනයක් එල්ල කළ අතරවාරයේ ප්රභාකරන් ගැන කළ ප්‍රකාශයෙන් සමස්ත දෙමළ ජනතාවටද තර්ජනයක් කොට ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන සොයා බලා කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ( 16 ) ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම නිවේදනය නිකුත් කොට ඇති මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේ ප්රභාකරන් මරාදැමූ ආකාරය ජනාධිපතිවරයා විසින් හෑල්ලුවට ගෙන ප්‍රකාශ නිකුත් කිරීම නිසා දෙමළ ජනතාව තව තවත් මේ රජයෙන් ඉවත්ව යන බවයි.
අතීතයේදී එළාර දුටුගැමුණු කතාව සිංහල හා දෙමළ ජනයා අතර විශාල දුරස්භාවයක් ඇති කිරීමට සමත් වූවා සේම මේ කතාවද එම දුරස්තභාවය ඇති කිරීමට සමත් කතාවක් බවද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ප්රභාකරන් මරා දැමූ අන්දම හා එහි පරිසරය ගැන ජනාධිපතිවරයා කළ ප්රකාශයෙන්ම ඔහු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි කාලයේදී යුද අපරාධවලට සම්බන්ධ බව ඉතා පැහැදිලිවම පෙනෙන්නට ඇති නිසා මේ සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කමිටුවට තම නිවේදනය යොමු කරණ බවද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා සඳහන් කොට තිබේ.







