ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඊයේ (31) යාපනයේ පැවති උත්සවයට සහභාගී වී යළි පැමිණෙමින් තිබූ ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් සහිත ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාවේ දී අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් සිවු දෙනෙක් තුවාල ලැබ ඇති අතර දෙදෙනෙක් බරපතල තුවාල සහිතව අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ අනෙක් දෙදෙනා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත. අනතුරින් තුවාල ලබා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත රියදුරෙක් සහ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් තුන් දෙනෙකි.
අද අළුයම 1ට පමණ තලාව ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරට හේතුව අධික වෙහෙස නිසා රියදුරු නින්ද යෑම නිසා බවට පොලිසිය සැක කරයි. අනතුරෙන් පසු වෙනත් වාහනයකින් තුවලාකරුවන් තලාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තලාව රෝහලෙන් ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.







