ජනතාව ජීවත් කරවීම කිසිසේත් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නොවන බවත්, ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට තමා සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. ජනාධිපතිවරයා මේ බව පවසන්නේ පාලාත් පාලන මැතිවරණ කල් දැමීම සම්බන්ධව අධිකරණ තින්දුව ලැබීමෙන් අනතුරුව පැමිණෙන චෝදනා සම්බන්ධව ස්වකීය මතය ප්‍රකාශ කරමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව කල්ලඩි ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ අද (24) පෙරවරුවේ පැවති මඩකලපුව දිස්ත්‍රික් “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

අසීරු කාලයක මම මේ අභියෝගය භාරගත්තා. එදා විපක්ෂනායකයා පැනලා ගියා. විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතියවරයායි. නමුත් ජනතාව දුක් විඳින විට ඔහු පැන ගියා. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතාද සොයා ගැනිමට නොහැකි වුණා. නමුත් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්ම කළා. එහිදී දුෂ්කර තීරණ ගැනීමට සිදු වුණා. මුදල් මුද්‍රණය කිරීමටවත්, දේශීය බැංකුවලින් ණය ගැනීමටත් හැකියාවක් තිබුණේ නැහැ. වියදම් අඩු කළා. රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආදායම් උපයා ගැනීමට වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. නමුත් අප රටේ ආදායම් ඉහළ නංවා ගත්තා. එමඟින් රුපියල ශක්තිමත් වුණා.
ජනතාව වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. වකුගඩු රෝගින් සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ලබාදෙන දීමනා 50%කින් වැඩි කළා. හැකි සෑම අයුරින්ම ජනතාවට සහන ලබා දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. දැන් අප උදය සෙනෙවිරත්න කමිටු වාර්තාව අනුව කටයුතු කරනවා. 2025 පාදක වසර ලෙස ගෙන රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක මාසික ගෙවීමක් කිරීමට එමඟින් යෝජනා කර තිබෙන අතර අප එය පිළිගන්නවා. ඊට පසුව ආරම්භක මාසික වැටුප ජිවන වියදම සමඟ රුපියල් 55,000ක් වනවා. විශ්‍රම වැටුප රුපියල් 3,000ක අන්තර්කාල දීමනාවක් ලෙස ලබා දුන්නා. ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් රුපියල් ලක්ෂ 10ට අඩුනම් පොලිය 8.5% සිට 10% දක්වා ඉහළ දැමුවා. පෙර පාසල් ගුරුවරියන්ගේ දීමනාව රුපියල් 5,000ක් බවට පත් කළා.
උරුමය වැඩසටහන යටතේ අප ලක්ෂ 20ක ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබා දෙනවා. කොළඹ රජයේ මහල් නිවාසවල ජීවත්වන ජනතාව ලක්ෂ දෙක හමාරකට එම නිවාස අයිතිය ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම වතුකරයේ ගම්මාන ඇති කර එම ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙනවා. මැතිවරණය නිසා උරුමය වැඩසටහන නතර කළද එම කටයුතු කඩිනමින් සිදු කළ යුතු නිසා ඉදිරි වසර තුනේදී එම කටයුතු අවසන් කිරීමට නීතියෙන් වෙනම අධිකාරියක් ඇති කරනවා.
වසර දෙකක් තුළ අප ගත් පියවර නිසා ජනතාවගේ ජීවන බර අඩු වී තිබෙනවා. 2022 ජුලි මාසයේ සිට අද වන තෙක් රතු පරිප්පු මිල 41%කින් අඩු වී තිබෙනවා. තිරිඟු පිටි මිල 29%කින් අඩු වී තිබෙනවා, කුකුල් මස් මිල 11%කින් අඩු වී තිබෙනවා, 2022 ඉන්ධන මිල දෙස බැලු විට ඩීසල් මිල 28%කින් සහ ගෑස් මිල 31%කින් අඩු වෙලා තිබෙනවා. ඩීසල් රුපියල් 450 සිට රුපියල් 317ට අඩු වී තිබෙනවා. අවම බස් ගාස්තු රුපියල් 40 සිට රුපියල් 28 දක්වා අඩු වී තිබෙනවා. ගෑස් මිල රුපියල් 5,370 සිට 3,600 දක්වා අඩු වී තිබෙනවා. මේ අයුරින් ජනතාවගේ ජීවන බර අඩු වී තිබෙනවා.
ඒ නිසයි ගෑස් සිලින්ඩරය මම මැතිවරණ ලකුණ ලෙස යොදා ගත්තේ. ඉදිරියට ජනතාවගේ ජිවන බර අඩු කරමින් තවත් සහන ලබාදෙන බව මම ප්‍රකාශ කරනවා.
අවුරුදු දෙකක් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන තවත් වසර කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබාගත යුතුයි. අපි අපනයන කර්මාන්ත ක්‍රියාත්මක කළයුතුයි. සංචාරක ව්‍යාපාරය අද දියුණුවෙමින් තිබෙනවා. වෙරුගල් සිට මඩකලපුව දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා. එවිට කුඩා සහ මහා පරිමාණ හෝටල් ඉදිවෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ සිට අරුගම්බේ දක්වා සංචාකර කර්මාන්තය දියුණු කරනවා. එපමණක් නොවෙයි කෘෂි නවීකරණ සහ ධීවර නවීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මෙම වැඩසටහන් තුළින් ඔබගේ නිවසේ ආදායම වැඩි කරදීමට අපි කටයුතු කරනවා.
නමුත් විපක්ෂ නායකයා කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අප ඇතිකරගත් එකඟතා වෙනස් කරනවා කියලා. මේ ගිවිසුම් වෙනස් කරන්න බැහැ. ගිවිසුම් වෙනස් කළොත් ආධාර ලැබීම නවතිනවා. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. නැවත පෝලිම් යුගයක් ඇති වෙනවා. රට ඉදිරියට ගෙනයාම පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැහැ. අප මෙම කටයුතු ක්‍රියාත්මක කරන විට ඔවුන් අපට සහාය ලබා දුන්නේ නැහැ.
2023 වසරේ මැතිවරණ පැවැත්වීමට මට මුදල් තිබුනේ නැහැ. එම මුදල් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් යෙදවීමට සිදු වණා. නමුත් විපක්ෂය මම මැතිවරණ තියන්නේ නැහැ කියලා අධිකරණයට ගොස් නඩු දැම්මා. 2023 සෑම දිනයක්ම ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් මට යෙදවීමට සිදු වුණා. ඒ නිසයි මේ රටේ පෝලිම් නැති වුණේ. දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වුණේ ද ඒ නිසයි. කිසිම රටක් මෙවන් වේගයකින් බංකොළොත් භාවයෙන් මිදී නැහැ.
විපක්ෂයට අවශ්‍ය වුණේ මෙම වැඩපිළිවෙළ නතර කිරීමටයි. අවසානයේ මම මුලික අයිතිවාසික්ම උල්ළංඝණය කළා කියලා අධිකරණයට ගොස් මට විරුද්ධව තීන්දුවක් ගත්තා. ජනතාව ජීවත් කරවීම මුලික අයිතිවාසිකම් උල්ළංඝණය කිරීමක් නොවෙයි. ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වීමට මම සුදානම්. ජනාධිපතිවරයා ලෙස මගේ වගකීම වන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින්, රට දියුණු කර අනාගත පරපුර වෙනුවෙන් යහපත් අනාගතයක් ගොඩනඟා දීමයි.
අප සියලුදෙනා එක්වී ඉදිරියට යමු. සිංහල දෙමළ, මුස්ලිම් සියලුදෙනා එක්වී රට ඉදිරියට ගෙන යමු. 2025, 20226 වන විට මේ රටේ ජනතාවට හොද අනාගතයක් මම ගොඩනගා දෙනවා. ඔබේ අනාගතය ආරක්ෂා කර ගෙන රට ගොඩනැඟීමට සැප්තැම්බර් 21වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න.







