ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට නියමිත බව සිංගප්පූරුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ඔහු සති දෙකකට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරවට පැමිණි බවත් ඒ අවස්ථාවේදී නිකුත් කර තිබූ ඔහුගේ කෙටි කාලීන සංචාර බලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කර ඇති බව ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.
කෙසේ වෙතත් එම නව වීසා බලපත්‍රය අගෝස්තු 11 දිනෙන් අවසන් වන බව ද එම පුවත්පත සඳහන් කරයි.
කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අඟහරුවාදා (ජූලි 26) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ නැවත නිවසට පැමිණීමට අපේක්ෂා කරන බවයි.
හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණෙන්නේ කවදාදැයි තමන් නොදන්නා නමුත් ඔහු සැඟවී නොසිටි බවත් ඔහු පිටුවහල්ව නොසිටි බවත් බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි.
මේ සම්බන්ධව අනන්‍යතාවය හෙළි නොකළ ශ්‍රී ලංකා රජයේ නිලධාරියෙකු නිව්ස් වයර් වෙබ් අඩවිය වෙත කියා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හැකි ඉක්මනින් ගෙදර යාමට අවශ්‍ය බවත්, ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹට තදාසන්නයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ නැවත ජීවත් වීමට ඔහු උනන්දුවක් දක්වන බවත්ය.
දරාගත නොහැකි ආර්ථික පීඩනය සහ දරිද්‍රතාවය හේතුවෙන් මහා රැල්ලක් සේ නැගුණු ජනතා නැගිටීම නිසා රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 14 වන දින මාලදිවයිනේ සිට සෞදි ගුවන් යානයකින් චැංගි ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී සිංගප්පූරුව ඔහුට දින 14 ක සංචාරයක අවසර පත්‍රයක් නිකුත් කරන ලදී.
මුලදී ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ නගර මධ්‍යයේ හෝටලයක නැවතී සිටි නමුත් පසුව ඔහු පෞද්ගලික නිවසකට ගොස් ඇතැයි විශ්වාස කෙරේ. ඔහු පැමිණි දා සිට ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණි.
ජුලි 14 වන දින ඔහු පැමිණ ටික වේලාවකට පසු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කීවේ ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර දී ඇති බවය. ඔහු සරණාගතභාවය ඉල්ලා නොසිටි අතර සරණාගතභාවය ලබා නොදුන් බවත් ඔහු පැවසීය. සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් සඳහා ඉඩ ලබා නොදෙන බව ද ඔහු කීවේය.
පසුගිය බදාදා (ජූලි 20) සිංගප්පූරුවේ ආගමන විගමන අධිකාරිය (ICA) මාධ්‍යයට පැවසුවේ සංචාරය සඳහා සිංගප්පූරුවට ඇතුළු වන ශ්‍රී ලංකාවේ අමුත්තන්ට සාමාන්‍යයෙන් 30 දක්වා කාලයක් සහිත කෙටි කාලීන සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කරන බවයි.
මෙහි රැඳී සිටීමට අවශ්‍ය අයට ඔවුන්ගේ සංචාර බලපත්‍රයේ දිගුවක් සඳහා මාර්ගගතව අයදුම් කළ හැකි බවත් එම අධිකාරිය ප්‍රකාශ කර ඇත.







