ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකවරයාට ඡන්දය ලබා දුන් එම නගරසභාවේ උප නගරාධිපති ලෙස තේරී පත්වුන ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පොදු ජන පෙරමුණ කටයුතු කර තිබේ.
ප්‍රියන්ත සහබන්දු යනු පොදු පෙරමුණ වෙනුවෙන් ගාල්ල නගරාධිපති ධුරය හෙබවූ ගාල්ල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා ය.
නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනීමේ දි ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුම්වත් කර තිබිය දී එම උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් පොදුජන පෙරමුණ වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටවා විනය ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කළ බව එම පෙරමුණේ මහ ලේකම් සාරග කාරියවසම් අද ප්‍රියන්ත සහබන්දුට ලිඛිතව දන්වා ඇත.
මින් පසු පක්ෂයේ ඔහු හෙබවු සියලු තනතුරු සහ වගකීම්වලින් ඔහුව නෙරපා ඇති බවත් එම ලිපියේ දැක්වේ. ඉදිරි කාලයේ දී චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන බව ද සාගර කාරියවසම් මහලේකම්වරයා විසින් ප්‍රියන්ත සහබන්දුට දන්වා ඇත.
ඡන්දය විමසු අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනාට තර්ජනය කරමින් පහර දීමට උත්සාහ කරන අයුරු ද දක්නට ලැබිණි.
” විවිධ ස්ථානවල තමන්ගේ පාරදෘෂ්‍ය භාවය ගැන කතා කළ ජනතා විමුක්ති පෙරමුණ රහස් ඡන්ද ඉල්ලා සිටීම සහ ඔවුන්ම දූෂිතයන් යැයි කී අය සමග බලය පිහිටුවීමේ දී කබර ගොයා තළගොයා කරගැනීමේ න්‍යාය ඉතාම හොඳින් සිදුකළා. ඉදිරි කාලයේ දී ඔහුට ( ප්‍රියන්ත සහබන්දු ) එරෙහිව විනය පරීක්ෂණයක් තියලා ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කරනවා. ඒ සමග ඔහුට නගර සභාවේ ඔහුගේ සභිකත්වය අහිමි වෙලා ලබා ගත් තනතුරු සියල්ලත් අහිමි වෙනවා.” පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කීවේය.







