ලලිත්චාමින්ද –
ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මන්ත්‍රී ඡන්ද 19ක් ලබාගෙන අද(20) පැවති මංගල සභා රැස්විමේ දි තේරි පත්විය. උප නගරාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ප්‍රියන්ත සහබන්දු නිතරගයෙක් තේරී පත්විය.
ගාල්ල මහනගර සභාව නගර සභිකයින් 36 දෙනෙකුගෙන් සමන්විතය. මහනගර සභාවේ මංගල රැස්විම සදහා සභිකයින් 36 දෙනාම පැම්ණ සිටියහ. මැයිමස 06 වැනිදින පැවති පළාත් පාලන මැතිවරණයේ දි ජාතික ජනබලවේගය විසින් ගාල්ල නගර සභාවේ මන්ත්‍රිධුර 17ක් හිමිකරගනු ලැබිය. විපක්ෂයේ පක්ෂවලට හිමිවු මන්ත්‍රිධුර සංඛ්‍යාව 19කි. සමගි ජනබලවේගය මන්ත්‍රිධුර 09ක් හිමිකරගත් අතර එජාපය විසින් මන්ත්‍රිධුර 05ක් හිමිකර ගත්තේය. ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර 03ක් හිමිකරගෙන ඇති අතර පොදුජන එක්සත් පෙරමුණ විසින් මන්ත්‍රිධුර 02ක් හිමිකරගෙන තිබුණි. නගරාධිපතිවරයා පත් කිරීම සඳහා කිසිම පක්ෂයකට සියයට 50ක බහුතරයක් තිබුණේ නැත. බහුතරය ලබා ගන්නට අඩුම තරමින් මන්ත්‍රී ධූර 19ක කැමැත්ත ලබා ගත යුතුය. ඒ අනුව පනත අනුව තනි පක්ෂයක් ලෙස බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 02ක් අඩුව තිබිණි.
ඡන්දය පැවැත්වුන හැටි
ගාල්ල මහනගර සභාවේ මංගල රැස්විම දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරු 9.00ට ගාල්ල මහනගර සභාවේ සභා රැස්විම් ශාලාවේ දි පැවැත්විණි.
මෙහිදී ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගය විසින් නාගරික මන්ත්‍රි මොහමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන්ගෙ නම යෝජනා කරනු ලැබීය. ජාතික ජන බලවේගය විසින් නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස නාගරික මන්ත්‍රී ඇල්විටිගල ඉහළ ගමගේ.සුනිල්ගේ නම යෝජනා කරනු ලැබීය.
නගරාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ රහස් ඡන්දයකින්ද විවෘත ඡන්දයකින්ද යන ඡන්ද ක්‍රමය තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී රහස් චන්දයක් පැවැත්වීම සඳහා සහිකයින් 19 දෙනකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. විවෘත ඡන්දයක් පැවැත්වීම සඳහා සභිකයින් 17 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ.
මෙයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන එක්සත්පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනා සභාගැබෙන් පිටව ගියහ. මෙහිදී සභා ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති විය .එහෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයින් තිදෙනා සභා ගර්භය තුළ රැඳී සිටියහ. දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සභා රැස්වීම විනාඩි 30කට කල් තබනු ලැබීය. නැවත සභා රැස්වීම ආරම්භ වීමෙන් පසු නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් ඡන්ද 19ක් ලබාගෙන නගරාධිපති ධුරයට පත්විය. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය.
ඉන් පසුව නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පිුයන්ත සහබන්දුගේ නම පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී නිහාල් මහාවිතාන විසින් යෝජනා කළ අතරපොහොට්ටුවේ නාගරික මන්ත්‍රීනි චම්පිකා හිමාලි විසින් එය ස්ථීර කරනු ලැබීය .ඒ අනුව නිතරඟයෙන් ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට ප්‍රියන්ත සහබන්දු තේරී පත්විය.







