ගල්කිස්ස පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්. තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සේවා අංශයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය 10දා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ශනයකට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.
ඊයේ මේ සිද්ධිය සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කළ බවත් කිසිඳු විටක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා විසින් නියෝගයක් ලබාදී නොමැති බවත්ය.
නමුත් පොලිස්පතිවරයා විසින් ඉහත නිලධාරින් අමතන විටත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු බව එම නිවේදනයේ දක්වා තිබිණි. එසේ අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස එම නිවේදනයේ දැක්වෙන්නේ අධිකරණ කටයුතුවලට බාධා වීම නිසා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය විසින් මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරියා කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හට නියෝග කර තිබීම හේතුවෙන් බවය.







