අසේල කුරුළුවංශ –
ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තාක්ෂණික කමිටු මගින් නිසි පරිදි සිදුකර තිබියදී විපක්ෂයේ පිරිසක් සමඟ නාලිකා කිහිපයක් දිගින් දිගටම එහි වරදක් සිදුව තිබෙන බව පෙන්වා දීමට උත්සහා කරන බවත් ඔවුන්ගේ බොරුවට වැඩි ආයුෂ නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය අද උද්ඝෝෂණ හා විරෝධතා තිබෙන ස්ථානවලට ගොස් ලෙයින් ලියා පොරොන්දු දෙන මට්ටම දක්වා ලඝු වී තිබෙන බවද ඔහු පැවසුවේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය. රැස්වීම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ සම සභාපතීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙසේද පැවසුවේය.
“ගල් ඇඟුරු සම්බන්ධ කතිකාව දිගින් දිගටම අරන් යන්නේ මාධ්‍ය නාලිකා කිහිපයක් විතරයි. ඔය පිළිබඳ සාකච්ඡා ඇමැතිවරයාත් නියෝජ්‍ය ඇමැතිවරයත් අදාළ නිලධාරීනුන් පැහැදිලිව ඉලක්කම් සහිතව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් ගියා. ඒ දවස තුළ ආණ්ඩු පකෂ මන්ත්‍රීවරු ඉලක්කම් සහිතව පෙන්වා දුන්නා. ඒ විදිහට කරුණු කාරනා පැහැදිලිව ඉදිරිපත් කරත්දී ඒවා ඇහෙන්නේ නැත්නම් ඒ ගැන එතනින් එහාට අපිට කරන්න දෙයක් නැහැ. “
“පසුගිය කාලයේ ගල් අඟුරු ටෙන්ඩර් ගියේ කොහොමද කියන එකත් දැන් මේක පාරදෘශ්‍ය භාවයෙන් සිදු කෙරෙන්නේ කොහොමද කියන එකත් පේනන තියෙනවා. ඒ සියලු දේවලත් තාක්ෂණික කාරණාත් සමඟ පෙන්වා දී තිබියදී වංචාවක් සිදුව තිබෙන බවට බොරු කියමින් ඒක ඉදිරියට ඇදන් යන්න හදනවා නම් ඒකට වැඩි අයුෂ නැහැ.
යම්කිසි කාරණාවක් ටික කාලයක් බොරුවට ඇදගෙන යන එක විපක්ෂයේ ලක්ෂණයක්. ස්ට්‍රයික් එකක් පිකටින් එකක් තියෙන්නේ කොතනද විපක්ෂ නායක එතන. ඒ තැන් වලට ගිහින් ලෙයින් අත්සන් කරලා දෙන්නම් කියනවා. ඒක තමයි ඒ අයගේ දේශපාලනය. බිමට යන්න බැහැ. එච්චරටම ඔවුන්ගේ දේශපාලනය ළඝු කරලා.
සියලුම තාක්ෂණික කමිටු වලින් මේ ගල් අඟුරු මිලට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියම විදිහට සිදුකර තිබෙනවා. අපි ඉදිරිපත් කළ ටෙන්ඩරයට අනුව ගල් අඟුරු ප්‍රමිතියෙන් යුතුව නොලැබුණොත් ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරනවා. වන්දි ලබා ගැනීමට පියවර ගන්නවා. ඒ ගැන කතා කරත්දී විපක්ෂය හා නාලිකා කිහිපයක් බොරුවක් සමාජගත කරන්න හදනවා. “







