ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවිය තුළ ඝාතනය කිරීමේ සිද්ධියෙන් අද පාර්ලිමේන්තුව ද කම්පනයට පත් වුනේය. විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට කීවේ පාර්ලිමේන්තුව ලෙස මේ ප්‍රශ්නය බරපතල ලෙස ගන්නා ලෙසය. රජයේ භාරයේ සිටිමින් නඩු කටයුත්තක් සඳහා උසාවියට පැමිණි පුද්ගලයෙක් විනිසුරුවරයා ඉදිරියේ දී ඝාතනය කිරීම සුලු කොට නොතකන ලෙස විපක්ෂය ආණ්ඩුවට කීවේය.
නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා විපක්ෂය ලෙස ලබා දිය හැකි උපරිම සහයෝගය රජයට ලබා දෙන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. මේ අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස කීවේ පාතාලය සම්බන්ධව ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගැනීමට රජය ලෙස කටයුතු කරන බවය. ඒ සම්බන්ධව ඉදිරිපත් වීම වෙනුවෙන් විපක්ෂ නායකවරයාට ද ඔහු ස්තුති කළේය.
එම සංවාදය ඇදුනේ මේ ආකාරයෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර – මේ අවස්ථාව වනවිට අලුත් කඩේ උසාවියේ ලෝයර් කෙනෙක් හැටියට ඇවිත් වෙඩි තියලා ගියා කෝට් නම්බර් 05 එකේ. විශාල අර්බුදයක්. ඊයෙ රාත්‍රියේ මිද්දෙනියෙදි ළමයි දෙන්නෙක් එක්ක පුද්ගලයෙකුට වෙඩි තිබ්බා.
ඉතාම ආනාරක්ෂිත තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. කෝට් එකක් ඇඳන් ලෝයර් කෙනෙක් විදිහට ඇවිත් වෙඩි තියලා ගියා ගරු කතානායක තුමනි. මේක විශාල ප්‍රශ්නයක්. ගනේමුල්ලේ සංජීව කියන්නේ පාතාල අපරාධකාරයෙක් තමයි. ඔහුගෙන් සාක්ෂි විමසුවේ වෙන විදිහකට. අද උදේ ඔහුව ගෙනත් සාක්ෂි විමසුවා වින්ඡයකාර තුමා. වෙඩි තියලා මරලා දැම්මා. ලෝයරස්ලත් ආරක්ෂාවක් නැති තැනක් වෙලා තියනවා. පොලිස්පති තුමා ගැන ජනාධිපති තුමත් ඉතාම හොඳින් කතා කළා. නමුත් මේ ටිකර මරණ 78කට වැඩියි ගරු කතානායක තුමා. මම හිතන්නේ මේ ගැන සීරියස්ලි කල්පනා කළේ නැතිනම් මම දන්නේ නෑ මේක කොහෙන් නරතරවෙයි ද කියලා. ඒ නිසා මම හිතන්නේ ඉතාම සුළු කාරණයක් බවට පත් වෙලා තියනවා මිනිහෙක් වෙඩි තියලා මරණ එක. ඒ නිසා පාර්ලිමේන්තුව විදිහට මේ ගැන සිරීයස්ලි කල්පනා කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුපක්ෂ සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස – මේ පාතාලයේ කටයුතු පිළිබඳ සීරියස්ලි කල්පනා කරනවා. අරගෙන තියන ක්‍රියාමාර්ග ටිකකුත් තියනවා. නමුත් මේ විපක්ෂ මන්ත්‍රීවරුත් දන්නවා පාතාලය කළු සල්ලි කුඩු ජාවාරම ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් එක්ක සම්බන්ධයි. මේක මෙහෙයවන සමහර අය ලංකාවෙත් නොවෙයි ඉන්නේ. මේක හොයාගෙන යනකොට ඔබතුමාල දන්නවා ඇති යම් යම් ආරක්ෂක සාමාජිකයින් මේකට සම්බන්ධ වෙලත් තියනවා. අපි යම් යම් ක්‍රියාමාර්ග ගණනක් අරන් තියනවා. පොලිසිය මේකට යොදවලා තියනවා. විශේෂ කාර්ය බලකාය යොදවලා තියනවා. බුද්ධි අංශ යොදවලා තියනවා. මේක ඉතාම ගැඹුරින් සීරියස්ලි මේක ගන්නවා කියලා මම මතක් කරන්න කැමතියි..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – අද රටේ නීතිය හා සාමය ක්ෂේත්‍රයේ බරපතල ගැටලුවක් ඇවිත් තියනවා. දිනපතාම මිනී මැරුම් සිද්ධ වෙනවා. කුඩා දරුවන් පවා මැරිලා යනවා. මේ පිළිබඳව ඉල්ලීමක් කරනවා රජයෙන් මීට වඩා ශක්තිමත් විසඳුමක් අවශ්‍යයි. අපිත් සූදානම් රජයට සහයෝගය ලබා දෙන්න. මේ රටේ සාමය ස්ථාපිත කරන්න මේ රටේ යුක්තිගරුක භාවය විනය ගරුක භාවය… මනුෂ්‍යයෙකුට පාරෙ බැහැලා යන්න… අද මේ සිදුවුන දෙයින් ඇත්ත වශයෙන්ම ගරු කතානායක තුමනි අධිකරණයටත් යන්න බැරිනම් මොකක්ද රටේ තත්ත්වය. අධිකරණයට පුද්ගලයෙක් යන්නේ මරණ බියෙන්නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ තත්ත්වය සමාජයේ අනෙක් තැන්වලත් ක්‍රියාත්මක වෙනකොට බරපතල ප්‍රශනයක්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා රජයේ ප්‍රධාන සංවිධායක තුමාගෙන්. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ගන්න තියන ශක්තිමත්ම තීන්දු ටික ගන්න.
නීතිය හා සාමය ස්ථාපිත කරන්න ඕන මේ සමාජය තුළ මිනීමැරුම් හිංසන වෙන්න දෙන්න බෑ. ඒ පිළිබඳව රජයේ ශක්තිමත් තීන්දුවක් ගන්න. අපිත් සදානම් නීතිය හා සාමය ශක්තිමත් කිරීම සඳහා අපට දිය හැකි ශක්තිය ලබා දෙන්න. හැබැයි දැන් ඒ බලය තියෙන්නේ ඔබතුමන්ලගේ අතේ. අපි දින වකවානුව පෙන්නලම කිව්වා. විශාල මරණ ප්‍රමාණයක් සිද්ධ වෙලා තියනවා. මේවට පියවරක් ගන්නේ නැතෙයි කියන එක තමයි අපට එළියට පේන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා විශේෂ ප්‍රකාශයක් කරන්න රජය පැහැදිලිවම ගන්න තීන්දු තීරණ මොනව ද කියලා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස – මේක අපි ඒ විදිහටම අරන් තියනවා කියලා කියන්න කැමතියි. විපක්ෂනායකතුමාගේ පැහැදිලි කිරීමටත් ගොඩක් ස්තුතියි. මේ නිසා පහුගිය කාලෙදි රජය මගින් ලබා දෙන්න කියලත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේ. එ් අනුව යම් ප්‍රමාණයක් බාර දීලා තියනවා. ඒ පරීක්ෂණ කටයුතු දියත් වෙනවා. ඔබතුමා දකින්න ඇති ඉන්දියාව සහ ඩුබායි රාජ්‍යයේ සිටි සමහර අපරාධකරුවන් අපි ඉක්මනට මේ රටට ගෙනත් නීතිය ක්‍රියාත්මක කරන්න යනවා. සියලු පියවර පාර්ලිමේන්තුවට හෙළිදරවු කරන්න බැරිවේවි. යළිත් අවධාරණය කරන්නේ රජය මේ පිළිබඳව දැඩිව මැදිහත් වෙනවා. මේ පාතාල කටයුතුවලට අපි කිසිසේත්ම බුරුලක් දෙන්නෙ නෑ. නීතිය තදින් ක්‍රියාත්මක කරනවා කියලා අවධාරණය කරන්න කැමතියි.







