සුමිත් පොතුපිටිය –
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම් කරුවෙකු වන සනා නැමැත්තා ගේ බිරිය ගේ සහෝදරයා සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු සමග වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයින් උපයාගෙන ඇති රුපියල් කෝටි 12 කට ආසන්න දේපල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කළ බව ද පොලිසිය සඳහන් කළේය.
මොරගහහේන කෝරළේඉම ප්‍රදේශයේ සුවිසල් නිවසක හෙරෝයින් මත්කුඩු ජාවාරම් කරන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා වැටලීම කර ඇති බව සඳහන් වේ.
ප්‍රධාන සැකකරු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 8 යි මිලිග්රැම් 200 ක් සහ ජාවාරමට යොදාගත් ජංගම දුරකථන දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඔහුගෙන් ලද ප්‍රකාශ මත දෙවන සැකකරු කොහුවල ප්‍රදේශයේ දී හෙරෝයින් මත්කුඩු ග්රැම් 339 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.
ප්‍රධාන සැකකරුගේ ස්වාමීත්වයේ තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් විමර්ශකයින් භාරයට ගෙන ඇති අතර, රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවස සම්බන්දයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කළ බවද පැවසේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ රෝමීන් තාක්ෂණය ඔස්සේ ඩුබායි රාජ්‍යයේ සිට පොලිස් නිළධාරීන් හා සම්බන්ධවී නිවස සහ මෝටර් රථය සම්බන්දයෙන් විමර්ශන සිදුනොකරන ලෙසට සනා ඉල්ලිමක් කර ඇති බවද සදහන් වේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුන්වන මහේන්ද්‍ර පෙරේරා , පොලිස් පරීක්ෂක ජනිත කුමාර , උප පොලිස් පරීක්ෂක වරුන්වන සදරුවන්, රත්නායක , ජයලත් සැරයන් වරුන්වන ප්‍රේමරත්න, ජයලාල් ,කොස්තාපල් වරුන්වන බාලසූරිය, උදයකුමාර, පෙරේරා, ජයසේකර සේනාරත්න, පෙරේරා , සියන්ත ,නෙරංජන්,සංජීව , කුමාර ,කාන්තා දිල්හාරා මෙලනි, පොසැරි අපිත් සහ පොකොරි අබේරත්න වැටලීමට එක්වූහ .