ආර්ය චක්‍රවර්තීවත් කුරුණෑගලට ඇවිත් විනාශ නොකළ දේ අද කුරුණෑගල බලයේ ඉන්න අට පාස් රස්තියාදුකාරයන් සිදු කර ඇති බවත් ඔවුන් අල්ලා හිරේ නොදා කමිටු පත් කිරීමෙන් වැඩක් නැති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ පොදු ජන පෙරමුණේ කුරණෑගල දිස්ත්‍රික් අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා ඊයේ කුරුණෑගල දී පවැසීය.
දයාසිරි ජයසේකර මේ අදහස් පැවසූයේ පසුගිය දා කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රජ සමයේ ඉදිකළ පුරා විද්‍යා ස්ථානයක් කුරුණෑගල නගරාධිපතිවරයාගේ මෙහෙයවීම මත විනාශ කිරීමෙන් පසුව නීත්‍යනුකූලව ඔහු අත්අඩංගුවට නොගෙන ඒ පිළිබඳව කමිටුවක් පත් කිරීම පිළිබඳව අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා “රට වෙනස්කරන දේශපාලනයකට අපි ලෑස්තියි. මේ රටේ ඉතිහාසය කියවන්න. අපේ පෞරාණික තොරතුරු දැනගන්න. අද ඒක ගණන් ගන්නේ නැතිවනේ අර බුවනෙකබාහු රජ්ජුරුවො හදපු රාජකීය මණ්ඩපය කඩල දැම්මේ. ඩෝසර් කෙරුවේ. ඒ ඉගෙන ගත්ත මිනිහෙක්ද? නටඹුන් ගැන කියවල තියෙන මිනිහෙක්ද? අට පාස් රස්තියාදුකාරයෝ ඔය තැන්වලට ගියාම වෙන්නේ මේක. ආර්යචක්රවර්තීවත් මේ වැඩේ කෙරුවේ නෑ. හරි නම් ආර්ය චක්‍රවර්තී තමයි මේක විනාශ කරන්න ඕන. පෘතුගීසි විනාශ කෙරුවේ නෑ. ලන්දේසි විනාශ කළේ නෑ. ඉංග්‍රීසින් විනාශ කළේ නෑ. කුරුණෑගල නගරාධිපති ආර්ය චක්රවර්තීටත් එහා ගිහින් මේක විනාශ කළා. මේක හෙණ ගහන අපරාධයක් මේකට කොමිටි දදා ඉඳල වැඩක් නෑ. පරීක්ෂණ කරල වැඩක් නෑ. අල්ලල හිරේ දාන්න ඕන.” යයිද ද පැවසීය.