මේ වනවිට වසර 20 සහ 25 බැගින් සිර දඬුවම් විඳින හිටපු අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු දණ්ඩනයට ලක් වූ කුප්‍රකට කැරම්බෝඩ් නඩුවට අදාල මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධව තවත් නඩුවකට අදාලව මහින්දානන්දටත්, නලීන්ටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චිටත් එරෙහිව කොළඹ මහාධිකරණය අද (21) අධිචෝදනා භාර දුන්නේය.
2014 ජනාධිපතිවරණ සමයේදී රජය විසින් පවත්වාගෙන යනු ලබන සතොස හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 14,000 ක් ආනයනය කර දේශපාලන වාසි තකා ක්‍රීඩා සමාජවලට බෙදා දුන් බවට චෝදනා එල්ල වී ඇති මතභේදාත්මක ප්‍රසම්පාදනයට මෙම චෝදනාත් අදාළ වේ.
නීතිපති දෙපාර්තමේන්තුවට අනුව මෙම චෝදනාවට අදාලව 2014 සැප්තැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විත්තිකරුවන් රුපියල් මිලියන 3.9කට වඩා අයථා ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ඔවුන්වෙත පොදු දේපළ පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර, නඩුව සැප්තැම්බර් 4 වන දින කැඳවීමට නියමිතය. නඩු විභාගය අතරතුර සාක්ෂිකරුවන් 42 දෙනෙකු සහ සාක්ෂි අයිතම 11 ක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සැලසුම් කරයි.
අධිචෝදනා භාරදීමෙන් පසු, විත්තිකරුවන් තිදෙනාම ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. එක් අයෙකුට රුපියල් 100,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 ක ශරීර ඇප දෙකක් නියම කරන ලදී.
මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේ, දැනට සිර දඬුවම් විඳිමින් සිටින අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු ඊළඟ නඩු විභාගයේදී අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ සංජීව රාජරත්නම්, නලින් ලද්දුවහෙට්ටි සහ සාලිය පීරිස් ය විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
කැරම්බෝඩ් සහ දාම්බෝඩ් ප්‍රසම්පාදනයට අදාලව රුපියල් මිලියන 53කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව පසුගිය කොළඹ ස්ථිර මහාධිකරණ නඩු විභාගයේදී පසුගිය මැයි 29 වන දින අලුත්ගමගේට වසර 20 ක් සහ ප්‍රනාන්දුට වසර 25 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම විය.







