ශ්‍රියානි විජේසිංහ –
කාසල් වීදියේ කාන්තා රෝහල තුළ පසුගිය දෙසැම්බර් 7වන දින ආරම්භ කළ ශුක්‍ර බැංකුව වෙත පිරිමි පුද්ගලයින් 100ට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ශුක්‍රාණු පරිත්‍යාග කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දන්තනාරායන සඳහන් කරයි.
පිරිමි පුද්ගලයින් 1000ට මෙම බැංකුවේ ශුක්‍රාණු තැන්පත් කිරිමේ ඉඩකඩ ලබා දිය හැකි බැවින් පරිත්‍යාගශීලින් වෙතොත් වහාම ඉදිරිපත් වන්නැයිද අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරයි.
මඳසරුභාවය හේතුවෙන් දරුවෙකු හදා ගැනීමට නොහැකි පිරිමි පුද්ගලයින්ට පිහිටක් වෙමින් ඔහුගේ බිරිඳගේ ගර්භාෂය තුළ වෙනත් නිරෝගි පිරිමි පුද්ගලයෙකුගේ ශුක්‍රාණු තැන්පත් කර දරුවෙකු බිහිකරවා ගත හැකි ක්‍රමයක් මෙම බැංකු හරහා ක්‍රියාත්මක වන බව වෛද්‍ය දන්තනාරායන පවසා සිටියි.
මේ වන විටත් ඉදිරිපත් වී ඇති මව්වරුන්ගෙන් සියයට 90ක් පමණ සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති බවත් ශුක්‍රාණු ලබා දුන් පිරිමි පුද්ගලයා කවුද යන්න වග එම කාන්තාව හෝ ඇයගේ ස්වාමියා නොදන්නා අතර ශුක්‍රාණු ලබා දුන් පුද්ගලයා ඔහුගේ ශුක්‍රාණු ලබා ගත් කාන්තාව හෝ ඇයගේ ස්වාමියා කවුරුන්ද යන්න නොදැනීමත් මෙහි ඇති විශේෂත්වය බවත් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.
කෙසේ නමුත් මෙම වැඩපිළිවෙළ ඉතා රහසිගත අන්දමින් සිදුවෙන බැවින් කිසිවෙකුටත් සැකයක් හෝ බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන් බවද පැවසීය.
පෞද්ගලික අංශයෙන් මෙලෙස දරුවෙකු සාදා ගැනීමට රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය වෙන නමුත් කාසල් වීදියේ කාන්තා රෝහල තුළ මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන බව වෛද්‍ය දන්තනාරායන සඳහන් කළේය.







