ලලිත් චාමින්ද –
ආණ්ඩුව රටෙන් ඉල්ලුවේ අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එවන ලෙසය. එයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වේදිකාවක් ගානේ ආඩපාලි කීවේය. එල් බෝඩ් පෙන්නමින් කීවේ තමන් සමග වැඩ කළ පළපුරුදු කට්ටිය ආර්ථිකය ගොඩ ගන්නට පාර්ලිමේන්තු එවන ලෙසය. සාගල රත්නායක ප්‍රකාශ කළේ රට ගොඩගැනීමට තමන් ද අවුරුදු දෙක හමාරක පුහුණුවක් හිටපු ජනාධිපති තුමාගෙන් ලැබූ බැවින් තමන් ද දැන් රට ගොඩනැගීමේ පළ පුරුදු කර පුරුදු කෙනෙක් බවය.
මේ කතාවලට පිළිතුරුත් ලැබිනි. ” පුරදු නෑ කියලා කසාද බඳින්න කලින් පුරුදු වෙන්න යනවද ?. ට්‍රේනින් ගන්න… පිස්සුනේ…” මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය. ආශු මාරසිංහත් ඊයේ කීවේ තමන්ගේ නායකයා කළ එම ප්‍රකාශයට තමන් එකඟ නොවන බවය.
කෙසේ වුවත් මිනිස්සු මාලිමාවේ කතාව පිළිඅරන් තිබිණි. කදිම උදාහරණය ගාල්ලය.
මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු මන්ත්‍රිවරුන් නමදෙනාගෙන් අට දෙනෙකුම නවක මන්ත්‍රිවරු වෙති.
ජාතික ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු මන්ත්‍රිවරු හත්දෙනාම නවක මන්ත්‍රිවරුන්ය. ඉන් හතර දෙනෙකුම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරු වෙති. නිතිඥවරියක්, වෛද්‍යවරයෙකු සහ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නවක මන්ත්‍රිවරු ලෙස පාර්ලිමේන්තුවට තේරිපත්ව සිටිති.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් අපෙක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන මනාප ඡන්ද 274707 ක් ලබා ගන්නේ එවැනි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ ඉතිහාසගත වාර්තාව තබන්නේ ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ ය.
නලින් හේවගේ , රත්න ගමගේ, හසාරා ලියනගේ, නිශාන්ත සමරවිර, තිලංක යු ගමගේ, නිශාන්ත පෙරේරා, ටි.කේ ජයසුන්දර යන මහත්වරු ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නවන මන්ත්‍රිවරු ලෙස පාර්ලිමේන්තුවට තේරිපත්ව ඇත.
ජාතික ජනබලවේගයෙන් නවක මන්ත්‍රිවරයෙකු ලෙස තේරිපත්වු කණ්ඩායම් නායක නලින් හේවගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදි උපාධිධාරියෙකි. හෙතෙම ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සංඛ්‍යානය, පිළිබද ඩිප්ලෝමාවද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රිසි පිළිබද කුසලතා සම්මානයද ලබාගෙන ඇත. රත්න ගමගේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයකු මෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි. ඔහු ගණිතය හා භෞතික විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කරඇත.
හසාරා ලියනගේ නිතිඥවරියකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නිති පිඨයට තේරිපත්වු ඇය 2021 වර්ෂයේ දි නිතිඥවරියක් ලෙස දිවුරුම් ද තිබුණි. නිශාන්ත සමරවීර වෛද්‍යවරයෙකි. හෙතෙම ජාතික විද්වත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් සභාපතිවරයාය. තිලංක යු ගමගේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරියෙකි. ආර්ථික විද්‍යා ගුරුවරයෙකි. නිශාන්ත පෙරේරා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකු මෙන්ම කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ සභාපතිවරයාය.
ටි.කේ ජයසුන්දර ද හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකි. ඔහු ශ්‍රිලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ඉංජිනේරු නිලධාරියෙකු ලෙස වසර 12ක් සේවය කොට ඇති අතර පසුව විද්‍යා ගුරුවරයෙකු ලෙස ජාතික අධ්‍යාපන ආයතනයෙන්, පුහුණුව ලබා විවෘත විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතිකභාෂා අධ්‍යයන ආයතනයෙන් දෙමළ භාෂා පුහුණුව ලබාගෙන වසර 25ක් විද්‍යා හා දෙමළ භාෂා ගුරුවරයෙකු ලෙස සේවය කර ඇත.
ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙන් තේරිපත්වු එකම මන්ත්‍රිවරයා වන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චානක සම්පත් මාදුගොඩ ද පාර්ලිමේන්තුවට නවකයෙකි. ඔහු අක්මිමන ආසනයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායකවරයාය.







