-
එක්වර ගෙන්නුවොත් ඒක රටේ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවලට ප්‍රශ්නයක්… මහ කොමසාරිස්වරයෙක් කියන්නේ රටේ නියෝජනය… විජිත පැහැදිලි කරයි.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම ගේ ප්රශ්නකාරී හැසිරිම සම්බන්ධව මෙන්ම දේශපාලන පත්වීම් ලෙස විදේශීය දූත මණ්ඩලවලට පත්වීම් ලද පුද්ගලයින් සම්බන්ධව විමර්ශනයක් සිදුකර ඉදිරි කටයුතු සිදුකරන බව විදේශ ඇමති මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් අද (29) ප්‍රකාශ කළේය.
එක්සත් රාධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම සම්බන්ධව සහ ඔහුගේ වියදම් සම්බන්ධව විවිධ චෝදනා පැන නගිමින් ඇති බවත් ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා කීවේය.
මහකොමසාරිස්වරයෙක් යනු රටක නියෝජනයක් බැවින් එක්වරම සිදුකරන හදිසි කැඳවීම් රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සඳහා ගැටලු මතු කරන බැවින් කෙටි කාලසීමාවක් තුළ මෙම මහකොමසාරිස්වරයා සම්බන්ධව කටයුතු කරනවා සේම රජය කිසිවෙක් ආරක්ෂා නොකරන බවත් අද කැබිනට් ප්‍රකාශකවරයා රජය වශයෙන් සහතික වුනේය.
මාධ්‍ය හමුව අමතමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඒ තත්ත්වය මෙසේ විස්තර කළේය.
එක්සත් රාජධානියේ දැනට සිටිනා මහ කොමසාරිස්වරයා සම්බන්ධව විවිධ ප්රවෘත්ති පහුගිය කාලේ අන්තර්ජාලයේ පලවුනා. ඒ එක්කම දේශපාලන පත්වීම් පිළිබඳවත් ප්‍රශ්න කිරීම් තිබුණා.
ඉතා පැහැදිලියි. යම් යම් තානාපති කාර්යාලවල, මහ කොමසාරිස් කාර්යාලවල කටයුතු කරන අය පිළිබඳව සමහර අවස්ථාවල චෝදනා ඉදිරිපත් වෙලා තිබුණා. චෝදනාවක් ආවම ඒ චෝදනා පිළිබඳ විභාග කරලා පියවර ගැනීම තමයි අමාත්‍යාංශයක් විදිහට අපි කරන්නේ.
මෙතුමා සම්බන්ධයෙනුත් ආපු තොරතුරු අපි සොයලා බැලුවා. ඒ මහකොමසාරිස්වරයාගේ ගෙදර කටයුතු සඳහා සේවකයින් දෙදෙනෙක් ගෙනිහින් තිබුණා. ඒක මෙතෙක් කල් පැවති ක්‍රමවේදය. ඒ අයට පඩි නඩි ගෙවන්නේ ආණ්ඩුවෙන්. ඒක පවතින ක්‍රමය.
එක සේවකයෙක් මීට කලින් පැනලා ගිහින් තිබුණා. දෙවැනි සේවකයා සම්බන්ධව තමයි මේ ප්රශ්නය මතු වුනේ. ඔහුගේ පාස්පෝට් එක තියාගත්තා කියලා තමයි පැමිණිල්ල ඇවිත් තිබුණේ.
ඒ සම්බන්ධව පොලිසිය මහ කොමසාරිස්වරයාගේ නිවසට ගිහින් තිබුණා. ඒ අනුව ඒ සේවකයට නැවත පාස්පෝට් එක ලබා දීලා දැන් ලංකාවට ඇවිත් ඉන්නවා. එතකොට ලංකාවට ගෙන්වා ගැනීමේ දී විදේශ අමාත්‍යාංශයෙන් ඒ වියදම් දරනවා. ඒක තමයි ක්‍රමය. ඒ විදේශ දූත මණ්ඩල සඳහා ලබා දීලා තියන පහසුකමක්. ඒ පහසුකම අනුව ඒ සේවයකින්ගෙ වැටුප් ගෙවීම, යාම් ඊම් වියදම් දැරීම අමාත්‍යාංශය ආණ්ඩුව මගින් දරනවා.
කොහොමත් මෙතුමා සම්බන්ධව සහ මෙතුමාගේ වියදම් සම්බන්ධව විවිධ චෝදනා පැන නගිමින් තියනවා. ඒ ගැන සොයා බලමින් සිටිනවා. රටක නියෝජනයක් තමයි මහ කොමසාරිස්වරයෙක් කියන්නේ. එක පාරට හදිසි කැඳවීම් කළාම රටක් විදිහට අනෙක් රටවල් එක්ක ගනුදෙනු කරද්දි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා.
ඒ නිසා ක්ෂණිකව ගෙන්වා ගන්න එක නෙමෙයි, කෙටි කාලසීමාවක් තුළ ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඔවුන් ආරක්ෂා කරන්නේ නෑ. ඔහුට වාහනයක්, කාර් රථයක් අරන් තිබුණා. මාධ්‍යවල පල කරලා තිබුණා සුඛෝපභෝගී රථයක් කියලා. ලංකාවේ ආණ්ඩුවෙන් හෝ විදේශ අමාත්‍යාංශයෙ සල්ලිවලින් නෙමෙයි ඒ වාහනය අරන් තිබුණෙ. එතුමාගේ පුද්ගලික මුදල්වලින්. එය අපේ වැය බරක් නෙවෙයි.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සම්බන්ධව මෙය තමයි පැහැදිලි කිරීම. දේශපාලන පත්වීම් මත ගිහින් තියන දූත මණ්ඩල නියෝජිත පිරිස් සම්බන්ධව ඉදිරියේ දී තීන්දුවක් ගන්නවා. කාල සීමාව අවසන්වන කීප දෙනෙකුත් ඉන්නවා. එතකොට ඒ අය නැවත ලංකාවට පැමිණෙනවා.
උදාහරණයක් විදිහට සී ෂෙල්ස්වල හිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරියගේ සහෝදරයෙක්. ඔහුගේ නිල කාලය ඉවර වෙන්න ලඟයි . ඔහු එනවා. කෙසේ වෙත්ත ඒ පිළිබඳව අපි දැන් කටයුතු කරමින් යනවා.







