බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ දී අද සංවර්ධන නිලධාරින් විසින් සිදුකල විරෝධතාවය අතරතුර උප පොලිස් පරික්ෂකවරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකළ සිද්ධියට තම සංගමයේ කිසිම සාමාජිකයෙක් සම්බන්ධ නැති බව මෙම විරෝධතා ව්‍යාපාරය කැඳවූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු විරාජ් මනුරංග පැවසුවේය.
ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ ද පැවසුවේය. ” මේ වනවිට පොලිසිය කියනවා තුවාල ලබපු කීප දෙනෙක් ඉන්නවා කියලා. හැබැයි අපි පැහැදිලිව මතක් කරන්න කැමතියි… මෙතන ඉන්නේ අයි.ආර්.සී කාරයො ටිකක්වත් මැරයො ටිකක්වත් නෙමෙයි. දරුවන්ට උගන්වන ගුරුවරු … එතකොට යම් කිසි කෙනෙක් කුමන්ත්‍රණකාරීව යම් කිසි දෙයක් කළා ද කියලා අපි දන්නේ නෑ. හැබැයි අපේ කිසිම සාමාජිකයෙක් එවැනි කාර්යයක නිරත වන්නේ නෑ කියන එක පැහැදිලිව අපට කියන්න පුලුවන්. ” කැඳවුම්කරු කීවේය.
මේ වනවිට ආයුධ ප්‍රහාරයෙන් සුළු තුවාල ලද එම නිලධාරින් තිදෙනා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
එමෙන්ම උද්ඝෝෂණය අතර සිටි නාඳුනන පුද්ගලයෙක් ද උද්ඝෝෂකයින් විසින් අල්ලා පොලිසියට භාර දී ඇත.







