අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ විසින් ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීම අගමැතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
තමන්ට ඉවත් වීම සඳහා කිසිදු හේතුවක් නැති බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අද (28) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොහොට්ටු කණ්ඩායම් රැස්වීමේ දී ය.
රැස්වීම ආරම්භයේ දී ම පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරචිච් විසින් අගමැතිවරයාට ඉවත් වීමට යෝජනා කළ අරුන්දික ප්‍රනාන්දුට බරපතල විවේචනයක් එල්ලකරමින් පවසා ඇත්තේ ඔහු වැන්නෙක් අගමැතිවරයාට ඉවත් වීමට යෝජනා කිරීම මූලික සදාචාරයටත් විරුද්ධ බවය.
ඔහුව දැඩිව විවේචනය කිරීමට තිස්සකුට්ටිආරච්චි සමග පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ඉදිරිපත් වී තිබේ.
මේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රී කණ්ඩාම තුළ ලාභ ඩබල් ගේමක සිටිනා බවය.
මෙහිදී අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත්තේ දැන් මෙතන ඇවිලෙන්නේ පවුලේ ප්‍රශ්නයක් බවත් තමන් ඉදිරිපත්වූයේ රටේ ප්රශ්නය සබුද්ධිකව විසඳා ගත හැකි ප්‍රවේශයක් සොයගැනීමට බවත් අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත.
මෙහිදී නාමල් රාජපක්ෂ අරුන්දිකට එරෙහිව වචන හුවමාරුවක පැටලී තිබේ. එවිට කාංචන විජේසේකර ඇතුළු තරුණ කණ්ඩායමක් මැදිහත්ව මේ ප්රශ්නය විසඳා ගැනීමට උත්සාහ කර ඇතැයි වාර්තා වේ.
මේ සංවාදය අතර අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ ඩලස් අලහප්පෙරුම දේශපාලනයට ගෙනාවේ තමන් බවත්, ඔහු පිටුපස සිට පිහියෙන් අනින ජාතියේ පුද්ගලයෙක් නොවන බව තමන්ට සහතික බවත්ය.
එවිට ඩලස් කතා කරමින් තමන්ට කිසිම පුද්ගලික අරමුණක් හෝ න්‍යාය පත්‍රයක් නොමැති බව පවසා ඇත. රටේ ගිනි ඇවිලී බරපතල විනාශයක් වීම වැළැක්වීම මේ මොහොත වනතුරුත් තමන්ගේ අභිප්‍රාය බව ඔහු කියා තිබේ.
මෙහිදී අගමැතිවරයා කළ දීර්ඝ කරුණු දැක්වීම හමුවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වීම සඳහා ඉල්ලා නොසිටි බවය. තමන් සියල්ලට වඩා සහෝදරකම රකිනා බව ඔහු පවසා ඇත.
නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113ක බහුතරය පෙන්නූ කෙනෙකුට අග්‍රාමාත්‍යකම ලබා දීමට තමන්ට සිදුවන බව ජනාධිපතිවරයා පවසා තිබේ.
ඊට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමන්ට මේ වනවිටත් 113ක බලයක් පාර්ලිමේන්තුව තුළ ඇති බවකි.
කෙසේ වෙතත් බරපතල විසංවාදයක් පමණක් ඉතිරි කරමින් මන්ත්‍රී කණ්ඩායමේ හමුව නිමා වී ඇති බව වාර්තා වේ.







