වාර්ෂිකව වැඩි වශයෙන් රිය අනතුරු මරණ වාර්තාවන කාල පරාස දෙකින් එකක් වන සිංහල අලුත් අවුරුද්ද කේන්ද්‍රකරගත් සති තුනක කාලය තුළ මේ වසරේදීත් වැඩිම රිය අනතුරු මරණ ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇති බවත් වළක්වා ගත හැකි අනතුරු වළක්වා ගැනීමේ පුද්ගල වගකීම ජාතියක් වෙනුවෙන් ඉටුකරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ රටේ ප්‍රීතිමත්ම වකවානු දෙක වන නත්තල සහ නව අවුරුදු උදාව ආශ්රිත සති තුනක කාලයත්, සිංහල අලුත් අවුරුද්ද කේන්ද්‍ර කරගත් සති තුනක කාලයත් රට මළ ගෙයක් වන ආකාරයේ සැඟවුන කතාව ඔවුහු රටට හෙළි කරති.
පසුගිය ජනවාරි මස 01 සිට අප්‍රේල් මස 09 තෙක් කාලය තුළ පමණක් රටේ මාරක රිය අනතුරු 534ක් සිදුවී ඉන් පුද්ගලයින් 564ක් මිය ගොස් තිබේ.
සුළු රිය අනතුරු 2446ක් වාර්තා වී ඇති අතර මාරක නොවන එහෙත් බරපතල තත්ත්වයේ රිය අනතුරු 1345ක් වාර්තා වී ඇත.
මෙම සමස්ථ රිය අනතුරුවලින් සියයට 90කට හේතුව වගකීම් රහිත රිය ධාවනය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව පෙන්වා දෙයි.
තේරුම් ගත යුතු ඛේදවාචකය වන්නේ මේ මොහොතේ ජීවතුන් අතර සිටින බොහෝ දෙනෙක් ඉදිරි සති දෙක තුළ වළක්වා ගත හැකි රිය අනතුරුවලින් නොකල්හි මිය යෑමට නියමිත බවය.
ඒ උක්ත කාලය තුළ දෛනිකව මහ මග මැරී වැටීමට නියමිත මිනිසුන් ගණන 10කට වැඩිය. සමහර වසරවල සිංහල අවුරුදු වකවානුව තුළ එක් දිනක රිය අනතුරු මරණ 12 සිට 18 දක්වා වාර්තා වී ඇති බව දත්ත ප්‍රකාරව පෙනී ගොස් ඇතැයි කමිටුව කියයි.
ලංකාව තුළ දෛනිකව මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙක් මහ මග මිය යමින් ඇත.
මාරක කොවිඩ් වසංගතය නිසා රට වසා දමා තිබුණු වර්ෂ 2020 සහ වර්ෂ 2021 දී පවා රිය අනතුරු මරණවල සැලකිය යුතු අඩුවක් මේ රට තුළ වාර්තා වී නැත. වර්ෂ 2020 තුළ මාරක රිය අනතුරු 2242ක් සිදුවී 6950ක් බරපතල ලෙස තුවාල ලබා තිබිණි. රිය අනතුරු මරණ 2363ක් වාර් විය.
වර්ෂ 2021 දී මාරක රිය අනතුරු 2414ක් වාර්තා වූ අතර 6401 බරපතල තුවාල ලදහ. 2513ක් මහ මග මිය ගියහ.
2022 වර්ෂයේ මාරක රිය අනතුරු 2395ක් සිදුවී තිබිණි. ඉන් 6231ක් බරපතල තුවාල ලදහ. 2515ක් මරණයට පත් වූහ.
මේ වසරේ ජනවාරි 01 සිට අප්‍රේල් 09 දක්වා කාර්තුව තුළ වාර්තා වී ඇති රිය අනතුරු මරණ සංඛ්‍යාව 564කි.
මේ මිය යන පිරිසෙන් වැඩිම ප්‍රමාණයක් මේ රටේ ශ්‍රම බලකායේ තීරණාත්මක කොටස් කරුවන්ය. දහස් ගණනක් සෑම වර්ෂයකම රිය අනතුරුවලින් ඔත්පල වන්නේ රටේ ආර්ථිකය සවිමත් කරන ශ්රමිකයන්ය.
රජයේ රෙජිස්ට්‍රා ජෙනරල් දෙපාර්තමේන්තුවේ දත්ත ප්‍රකාරව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ප්‍රකාශ කරන්නේ වාර්ෂිකව රට තුළ හදිසි අනතුරු මරණ 12000ක් පමණ වාර්තා වන බවය. එම අනතුරුවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් රිය අනතුරුය.

හදිසි අනතුරු මරණ සහ බරපතල තුවාල වීම් නත්තල කේන්ද්‍ර කරගත් දෙසැම්බර් අවසන් සති දෙකත් නව අවුරුදු ප්‍රවේශය සටහන් කරනා අවුරුද්දේ මුල් සතියේත්, සිංහල අලුත් අවුරුද්ද කේන්ද්‍ර කරන්නා සති තුනක කාලය තුළත් වැඩි වන අයුරු රෝහල් හදිසි අනතුරු අංශය නිරීක්ෂණය කරන්නේය.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 10ක් තිබේ. එම එක් ඇඳක ප්‍රතිකාර ලබන රෝගියෙක් වෙනුවෙන් රජය දරන දෛනික පිරිවැය රුපියල් ලක්ෂයකි. හදිසි අනතුරුවලින් සිදුවන සුළු තුවාලයක් වෙනුවෙන් රට දරන පිරිවැය රුපියල් පන් දහසක් සේ ගණනය කළත් එම මට්ටමේ ප්‍රතිකාර වෙනුවෙන් වාර්ෂිකව රටට රුපියල් බිලියන 20 පිරිවැයක් දැරීමට සිදුවේ. එම වැය බර අවසාන වශයෙන් දරන්නේ මේ සමස්ථ සමාජය විසිනි.
මාරක රිය අනතුරු නිසා සිදුවන ආර්ථික හානිය පිළිබඳ ගණනය කරන විධිමත් සමාජ පරීක්ෂණයක් මෙතෙක් රට තුළ සිදු වී නැත. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පොදු නිර්නායකයන් ප්‍රකාරව ලෝක රිය අනතුරුවලින් සියයට 93ක් සිදුවන අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල දල ජාතික නිශ්පාදනයෙන් සියයට 1-2 අතර ප්‍රමාණයක් රිය අනතුරු නිසා වැය වන්නේය.
අප මේ මොහොත ගත කරන්නේ බිහිසුණු ආර්ථික ව්‍යසනයක අතිශය අප්‍රසන්න අත්දැකීම් ලබමිනි. රටේ ඩොලර් සංචිත හායනය වූ ප්‍රමාණය අවසාන වශයෙන් ලියැවී තිබුණේ සංඛ්යාලේඛනගත නොවූ දස දහස් ගණනක රෝගීන්ගේ මරණ මතිනි. රටට අත්‍යාවශ්‍ය ඖෂධවත් ගෙනෙන්නට වත්කමක් තිබුණේ නැත. අප ජීවත් වූයේ ණය ගෙවීමට හැකියාවක් නොවුන බංකොලොත් භාවය ප්‍රකාශ කළ රටකය.
මේ මොහොත වනවිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම රටට තාවකාලික සහනයක් ලබා දී ඇත.
නමුත් අප එරෙමින් ඇති ආර්ථික ගොහොරුවෙන් තවම ගොඩයෑමක් පිළිබඳ නිශ්චිත සහතිකයක් නැත. යම් බලාපොරොත්තු මාත්‍රාවක් පමණක් දැල් වී තිබේ.
මේ රට මේ මහා ව්‍යසනයෙන් ගොඩ ගත හැක්කේ ආකල්පමය පරිවර්තනයකින් පමණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු පිළිබඳ විශේෂඥ කමිටුව පෙන්වා දෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ දී පුරවැසියන් රටේ ජනතාව සතු නිශ්ඡිත වගකීම වන්නේ ජාතියක් වෙනුවෙන් රටක් වෙනුවෙන් යහපත් සිහි නුවණින් යුතුව තමන් රැක ගැනීම බවත්, වළක්වා ගත හැකි රෝග වළක්වා ගත හැකි අනතුරු අවම කර ගැනීමේ වගකීම තමන් වෙතම පවරා ගැනීමෙන් බවත් විශේෂඥ කමිටුව පැහැදිලි කරයි.







