මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව දිඹුලාගල දම්ම්මින්න අරුණපුර, ඉහළවැව ,නිදන්වල, ඇතුළු ගම්මාන රැසක පවතින අලි මිනිස් ගැටුමට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බල කරමින්, ප්‍රදේශවාසීන් සහ ගොවීන් පිරිසක් අද ( 05 ) පෙරවරුවේ පොළොන්නරුව මාදුරුඔය ප්‍රධාන මාර්ගය දම්මින්න මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වුහ.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් කඩා පනින වන අලි රංචු ප්‍රදේශයේ, ගෙවතු වගාවන් , කුඹුරු බිම්, නිවාස රැසකට හානි කළ ද ඊට කිසිදු විසඳුමක් බලධාරීන් හා රජය ලබා නොදුන් බවට විරෝධතාකරුවෝ මෙහිදී චෝදනා කළහ.
ගොවීන් මාර්ගය අවහිර කර, බිම වාඩි වී ප්‍රකාශ කරන ලද්දේ ප්‍රදේශයේ අලි වැටවල් රැසක්ද අක්‍රිය වී ඇති නිසා රාත්‍රියේ පමණක් නොව දිවා කාලයේ දී ද ගම්වදින වන අලි නිසා තමන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට සහ අවදානමට පත්ව ඇති බවයි.
මාදුරුඔය ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර, ඔවුන් සඳහන් කළේ ප්‍රදේශයේ අලි මිනිස් ගැටුමට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත්, මීට වඩා දරුණු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවය.
පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාවය සිදුකළ අතර, විරෝධතාවයට ගොවීන් සහ ප්‍රදේශවාසීන් 200 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.







