සූරියවැව නුවන් ජයසේකර –
සූරියවැව ප්රාදේශීය සභාව තුළ දී රුපියල් 50000ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් සූරියවැව ප්රාදේශීය සභාවේ ලේකම් කේ.එච්.අබේනායක මේ මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහාරච්චි මහතා අද (07) නියෝග කළේය.
2021 වසර සදහා අම්බලන්තොට පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සූරියවැව නගරයේ පිහිටි සතිපොල භූමියේ ලබා ගත් ටෙන්ඩරයකට අදාලව තැන්පත් කර තිබූ ඇප මුදල නියමිත ටෙන්ඩර් කාලය අවසන් වීමෙන් පසු නිදහස් කිරීම සඳහා මෙම අල්ලස ප්රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් ඉල්ලා තිබේ.
ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයන් දෙදෙනා විසින් ප්රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 47ක මුදලක් ඇප වශයෙන් තබා ඇත.පසුව මිට පෙර අවස්ථාවක එම ඇප මුදලින් රුපියල් ලක්ෂ 23ක මුදලක් ටෙන්ඩර් කරුවන් විසින් ලබාගෙන තිබේ.
ඉතිරි ලක්ෂ 24ක මුදල නිදහස් කරගැනීම සඳහා සභාවට ගොස් ලේකම් වරයා හමු වු අවස්ථාවේ ලේකම් වරයා විසින් ටෙන්ඩර් කරුවන්ගෙන් මෙලෙස අල්ලස් මුදල ඉල්ලා ඇත.
පසුව ටෙන්ඩර් කරුවන් දෙදෙනා මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඊයේ (07) දින පෙරවරුවේ ටෙන්ඩර් කරුවන් දෙදෙනා සභාවට ගොස් තමන්ට ප්රාදේශීය සභාවෙන් අය විය යුතු රුපියල් ලක්ෂ 24ක චෙක් පත ලියවා ගැනිම සඳහා සභාවේ ලේකම් වරයාට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා දුන් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිළධාරීන් ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් ලේකම් හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිනි.
එහිදී මහේස්ත්රාත්වරයා නියෝග කළේ මෙම පුද්ගලයා ලබන 21 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.