මනම්පිටිය නිමල් ජයරත්න
මඩකලපුවේ සිංහල ජනතාවට වන සංරක්ෂණ නිලධාරීන් විසින් අනිසි අයුරින් නඩු පැවරීමට එරෙහිවත්, නැගෙනහිර පළාතේ සිංහල ජනතාවට අන්තවාදීන්ගෙන් සිදුවන බලපෑම් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් වලට එරෙහිව මෙන්ම තමන් වහන්සේට වෙඩි තබා වසර තුනක් ගත වුවද ඊට කිසිදු විමර්ශනයක් සිදු නොකිරීමට එරෙහිවත් මඩකළපුවේ වෙහෙර විහාරස්ථාන 17 ක කළු කොඩි ඔසවා, කළු ඇඳුමකින් සැරසී මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමරතන නාහිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ ( 13 ) සවස විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් වන සංරක්ෂණ නිලධාරීන් දැව ජාවාරම් සිදුකරන බවත්, ඉහළ නිලධාරීන්ගේ නිවාස ඉදිකිරීමට වන සංරක්ෂණ නිලධාරින් මෙම දැව ජාවාරම සිදුකරන බවත්, ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම අනෙකුත් සිවිල් ජනතාවට අනිසි අයුරින් අධිකරණයේ නඩු පැරීමට කටයුතු කර ඇති බවත් සුමනරතන හිමියෝ කීහ.

මේ පිළිබඳව දිගින් දිගටම අදාල බලධාරීන් දැනුවත් කළ ද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම විරෝධය අඛණ්ඩව දින හතක් පුරාවට සිදු කිරීමට සැලසුම් කර ඇති බව අම්පිටියේ සුමනරතන නාහිමියන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළහ.
පැවති සෑම රජයකින්ම කොපමණ ඉල්ලිම් කළත් නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු සහ ඔවුන්ගේ නොවිසිදුනු ගැටලුවලට විසඳුම් ලබාගැනීමට නොහැකි වූ බව අම්පිටියේ සුමනරතන හිමියෝ කීහ.
වත්මන් රජය කෙරෙහි විශ්වාසය තැබුවද, ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් ලැබෙන ආකාරය නොපෙනන බව කී උන්වහන්සේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ පිළිබඳ වහාම අවධානය යොමු කර නැගෙනහිර පලාතේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් භික්ෂූන් වහන්සේලාටත්, ජනතාවටත්, සිදුවන බලපෑම් සහ අකටයුතුකම්, අසාධාරණවලට කඩිනම් විසඳුම් ලබාදීමට විශේෂ කමිටුවක් පත් කරන ලෙස ද ඉල්ලූහ.
මෙම විරෝධතාවය අතරතුර මංගලගම පොලිස් ස්ථානය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එම ස්ථානයට පැමිණ වන සංරක්ෂණ නිලධාරීන්ට එරෙහි සුමනරතන නාහිමියන් ඉකුත් 08 වෙනිදා කලවංචිකුඩි සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට යොමු කළ පැමිණිල්ලට අනුව,14 වෙනිදා, මංගලගම පොලීසියේදී විභාග කටයුතු සිදුකරන බවට ලබාදුන් පොරොන්දුව මත විරෝධතාකරුවෝ විසිර ගියහ.







