දිනසේන රතුගමගේ
නාරා ආයතනය හා ධීවර දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී නොමැති මුහුදු කලාප වල මසුන් මැරීමේ කටයුතුවල නිරත දේශීය ටෝලර් යාත්‍රා සියල්ල අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා නාවික හමුදාවට හා ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබේ.
අමාත්‍යවරයා එම දැනුම් දීම කරමින් ප්‍රකාශ කොට ඇත්තේ දේශීය ටෝලර් යාත්‍රා මගින් මුහුදු සම්පතත්වලට විශාල හානියක් සිදුවන බවයි.
මෙම නියෝගය නිකුත් කිරීමෙන් පසුව කිළිනොච්චියේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය විසදන අතරවාරයේම දේශීය ධීවරයින් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාද මර්දනය කල යුතු බවයි.
ධීවර කටයුතු සදහා යොදවා ඇති දේශීය ටෝලර් යාත්‍රාවලින් බොහොමයක් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වනවා පමණක් නොව එම යාත්‍රාවලින් බොහොමයක් නිසි ප්‍රමිතියෙන් නොමැති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
මේ නිසා ධීවරයින්ට නිතර නිතර හානි සිදු වන බවත් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන බවත් කී අමාත්‍යවරයා වෙනත් මුහුදු සීමාවන් වෙත ඉතා විශාල දුර ප්‍රමාණයක් ගමන් කරණ ධීවර යාත්‍රාවල තත්ත්වයද නිසි ප්‍රමිතියට නොවන බව සදහන් කළේය.







