තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා ලබන මාර්තු මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන, ඊයේ අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තාගෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමටද අධිකරණය පොලිසියට අවසර ලබා දී ඇත.
ඉකුත් සිකුරාදා පස්වරුවේ සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12ක් විමර්ශන ආරම්භ කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16 වනදා කොට්ටාව ප්‍රදේශයේදී සැකකාර සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඝාතනය සඳහා යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කිරීමට මෙම සහෝදරයන් දෙදෙනා සෘජුවම දායක වී ඇති බවයි.
පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ‘ඩිලා’ නැමැත්තාගේ උපදෙස් මත මෙම අවි ප්‍රවාහනය සිදු කර ඇත.
අදාළ ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ අවස්ථාවට ‘ඩිලා’ ද පෞද්ගලිකවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවේ පසුවන ‘ඩිලා’ නැමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හරහා ඝාතනය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් සහ ඊට යොදාගත් ගිනිඅවි සොයා ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය සහ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවයි







