ප්‍රකට සංවිධානාත්මක අපරාධකරු නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ වෙත අභය දානය ලබා දීමට ඇතුළු පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12) අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාල ගනුදෙනුව සිදුවූ කාලවකවානුවේ දී ෙහිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඩුබායි රාජ්‍යයේ කළ සැකකටයුතු විදේශ සංචාරය මුල් කරගනිමින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.
මෙම අල්ලස් නඩුවේ දෙවැනි සැකකරු වන විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන ජූලි මස 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
-
සැකකරුවන් ඩුබායි හි සිටි කාලයේම ඇමතිවරයාත් ඩුබායි ගිහින්
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂ අනූෂා සම්බන්ධන්පෙරුම අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරුවන් තිදෙනා ප්‍රශ්නගත මුදල් ගනුදෙනුව සිදුකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි කාලසීමාව තුළදීම, එවකට අධිකරණ ඇමතිවරයා වූ විජේදාස රාජපක්ෂ ද ඩුබායි බලා ගොස් ඇති බව විමර්ශන නිලධාරීන්ට කරුණු අනාවරණය වී ඇති බවයි.
අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය මෙසේ පැවසුවාය.
“ස්වාමීනී, සිදුකළ විමර්ශන මඟින් අලුත්ම කරුණක් අනාවරණය වෙනවා. දෙවැනි සැකකරුගේ පියා වන එවකට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ 2023 මාර්තු මස 21 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. සැකකරුවන් තිදෙනා මෙම ගනුදෙනුව සිදුකිරීමට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන්නේ 2023 මාර්තු මස 29 වැනිදා. සැකකරුගේ පියා ඩුබායි සිට නැවත ලංකාවට පැමිණ තිබෙන්නේ 2023 මාර්තු මස 28 වැනිදා. සැකකරුවන් නැවත ලංකාවට පැමිණෙන්නේ මාර්තු 29 වැනිදා.
මේ අනුව පැහැදිලියි ස්වාමීනී, සැකකරුවන් තිදෙනා මෙම ගනුදෙනුව සිදුකිරීමට ඩුබායි හි සිටි කාලයේදීම දෙවැනි සැකකරුගේ පියා ද ඩුබායි හි රැඳී සිට තිබෙනවා. ඔවුන් එක්ව විදේශගත වී හෝ එක්ව පැමිණ නැතත්, එකම කාලවකවානුවක් තුළ මේ සියල්ල සිදුව තිබෙනවා. ඒ අනුව දෙවැනි සැකකරුගේ පියා ඩුබායි ගොස් ඒ කාලය තුළ හමුවූ පුද්ගලයන් සහ සිදුවූ දේවල් මොනවාද යන්න පිළිබඳව අප විශේෂ විමර්ශනයක් සිදුකරනවා.”
-
අල්ලස් මුදල් හුවමාරු වූ නිවස පිහිටි පාරේම ඇමති නිවසත් තිබිලා
මීට අමතරව හිටපු ඇමතිවරයා වෙත සැකය එල්ල වන තවත් ප්‍රබල කරුණක් අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. පළමු සැකකරු වන චරිත් අබේසිංහ, හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තිගෙන් ලබාගත් අල්ලස් මුදලින් රුපියල් කෝටි 02ක මුදලක් යළි ඇය වෙත ලබා දීම සඳහා නුගේගොඩ, නාවල පාර, විජයබා මාවතේ පිහිටි ස්ථානයකදී ය මිදිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වූ, පසුව ඝාතනය කරන ලද මිදිගම ලසන්ත වික්‍රමසිංහ හෙවත් මිදිගම ලසා වෙත යළි ලබාදීමට කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
එම අල්ලස් මුදල් හුවමාරු වූ නුගේගොඩ නාවල පාර, විජයබා මාවතේම දෙවැනි සැකකරුගේ පියා වන විජේදාස රාජපක්ෂගේ නිවස ද පිහිටා ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බව සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට පෙන්වා දුන්නාය. මේ අනුව, විජේදාස රාජපක්ෂගේ ඩුබායි සංචාරය මෙන්ම මෙම නිවස තුළ සිදුවී ඇති ගනුදෙනු පිළිබඳව ද අල්ලස් කොමිසමේ දැඩි අවධානය යොමුව තිබේ
-
CID නිලධාරීන්ගේ හැසිරීම් සහ වත්කම් ගැනත් සෝදිසි
හරක් කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රැඳවුම් භාරයේ තබාගෙන සිටි කාලය තුළ, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය සහ ඔහු සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා ඇති ආකාරය පිළිබඳව ද පුළුල් විමර්ශනයක් සිදුකරන බව අල්ලස් කොමිසම සඳහන් කළේය. සැකකරුවන් තිදෙනාගේ දුරකථනවල වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ, ඇමතුම් මෙන්ම ඔවුන් සතු වත්කම් බැරකම් පිළිබඳව ද මේ වන විට විමර්ශන ක්‍රියාත්මකය.
මෙම නඩුවේ සැකකරුවන් වන රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ වරුෂ හැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ අශෝක් වීරසූරිය ඇතුළු නීතිඥ මඩුල්ල සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස දීර්ඝ වශයෙන් කරුණු දැක්වූහ.
එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, සැකකරුවන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී නීතිමය කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බව පවසමින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර, සැකකරුවන් තිදෙනාම ලබන ජූලි 17 වැනිදා දක්වා රක්ෂිත ბන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.









