උපේක්ෂා උඩුවැරැල්ල –
පසුගිය සති අන්තයේ පාකිස්ථානයේ පැවැත්වූ ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දුන් නියෝගයට අනුව, ඉරානයට අයත් සියලුම වරායන් වෙත පැමිණෙන සහ එතැනින් පිටවන නෞකා ඉලක්ක කර ගනිමින් විශේෂ නාවික අවහිරයක් (Blockade) ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු නාවික හමුදාව පියවර ගෙන ඇත.
අවහිරය ආරම්භ වන වේලාව සහ ස්ථානය
ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) නිකුත් කළ නිල නිවේදනයකට අනුව, මෙම නාවික අවහිරය අද (අප්‍රේල් 13 වන සඳුදා) වොෂින්ටන් වේලාවෙන් පෙ.ව. 10:00 ට ආරම්භ වීමට නියමිතය. එය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7:30 ට පමණ ආරම්භ විය. මේ වනවිට ඇමරිකානු මෙහෙයුම් ක්‍රියාත්මකය.
මෙම මෙහෙයුම ප්‍රධාන වශයෙන් ඕමාන් බොක්ක සහ අරාබි මුහුදේ, හෝමුස් සමුද්‍ර සන්ධියට නැගෙනහිර දෙසින් ක්‍රියාත්මක වෙමින් ඇත. මෙම තහනම බලපැවැත්වෙන්නේ ඉරාන වරායන් ඉලක්ක කරගන්නා නෞකාවලට පමණක් වන අතර, සෞදි අරාබිය හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අනෙකුත් රටවල් වෙත ගමන් කරන නෞකාවලට මෙයින් බාධාවක් නොවන බව ඇමරිකාව අවධාරණය කරයි.
නෞකා ගමනාගමනය පිළිබඳ පරස්පර වාර්තා
මෙම නාවික අවහිරයට පෙර සූදානමක් ලෙස, මීට දින දෙකකට පෙර (අප්‍රේල් 11) ඇමරිකානු විනාශක නෞකා (Destroyers) දෙකක් වන ‘USS Frank E. Peterson’ සහ ‘USS Michael Murphy’ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බව ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය කීවේය. ඉරානය විසින් මීට පෙර අතුරා තිබූ බිම්බෝම්බ ඉවත් කරමින් ආරක්ෂිත මාවතක් සකස් කිරීම එම නෞකාවල කාර්යය වූ බව ඔවුන්ගේ වාර්තාවල සඳහන් විය.
කෙසේ වෙතත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මෙම ප්‍රකාශයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර කළේය. ඉරාන නිල පුවත් සේවා පවසන්නේ කිසිදු ඇමරිකානු යුද නෞකාවකට හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට ඉඩ නොදුන් බවය. ඉරාන නාවික හමුදාවේ අනතුරු ඇඟවීම් හමුවේ ඇමරිකානු නෞකා පසුබෑමකට ලක් වූ බවට ඉරානය කරන මෙම ප්‍රකාශයත් සමඟ කලාපය තුළ තොරතුරු යුද්ධයක් (Information War) ද නිර්මාණය වී තිබේ.
එසේ වුවද, ස්වාධීන චන්ද්‍රිකා දත්ත මගින් තහවුරු වන්නේ ඇමරිකානු නාවික හමුදාව සන්ධිය ආසන්නයේ සිය බලය තහවුරු කරමින් සිටින බවය.

ඉරානයේ ප්‍රතිචාරය සහ යුද අවදානම
මෙම නාවික අවහිරය ‘නීති විරෝධී මුහුදු මංකොල්ලකෑමක්’ ලෙස හඳුන්වන ඉරාන බලධාරීන්, මීට එරෙහිව ‘දැඩි සහ තීරණාත්මක’ ප්‍රතිචාරයක් දක්වන බවට අනතුරු අඟවා ඇත.
විශේෂයෙන්ම, අප්‍රේල් 22 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සටන් විරාමය ඇමරිකාව විසින් ඒකපාර්ශ්විකව උල්ලංඝනය කර ඇති බව ඉරානයේ මතය ය. විශේෂඥයින් පවසන්නේ ඉරානය විසින් අධිවේගී ප්‍රහාරක යාත්‍රා, මතුපිට සිට නෞකා නාශක මිසයිල හෝ නවීන මුහුදු බිම්බෝම්බ යොදා ගනිමින් ඇමරිකානු නෞකාවලට හෝ කලාපයේ අනෙකුත් රටවල වරායන්ට ප්‍රහාර එල්ල කිරීමේ දැඩි හැකියාවක් පවතින බවය.
ලෝක වෙළඳපොළට වන බලපෑම
හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වැදගත්ම ‘තෙල් මාවත’ ලෙස සැලකේ. එහි පටුම ස්ථානය කිලෝමීටර් 3 ක් තරම් කුඩා වන අතර, ලෝකයේ දෛනික තෙල් සහ ස්වභාවික වායු අවශ්‍යතාවයෙන් 20% ක් පමණ ප්‍රවාහනය කරන්නේ මෙම මාවත හරහාය.
මෙම අර්බුදය හේතුවෙන් දැනටමත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යමින් පවතින අතර, එය ඇමරිකාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිල ඉහළ යාමට සෘජුවම බලපානු ඇත.
එක්සත් රාජධානිය සහ අනෙකුත් නේටෝ (NATO) සංවිධානයේ රටවල් මෙම නාවික අවහිරය සඳහා සෘජුව සහාය නොදීමට තීරණය කර තිබේ. ඔවුන් පවසන්නේ මෙය කලාපීය මහා පරිමාණ යුද්ධයකට මග පෑදිය හැකි බවය.
ඉදිරි පැය කීපය තීරණාත්මකය. ලෝකයම හුස්ම රඳවාගෙන බලා සිටින්නේ මෙම ගැටුම තවදුරටත් වර්ධනය වේද නැතහොත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් යම් සමනයක් සිදුවේවිද යන්න පිළිබඳවය.







