උපේක්ෂා උඩුවරැල්ල
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික වැසි සහ තද සුළං හේතුවෙන් පුද්ගල මරණයක් වාර්තා වන අතර, දිස්ත්‍රික්ක 4ක පවුල් 1,966කට අයත් ජනතාව පීඩාවට පත්ව සිටිති. පුද්ගලයින් වශයෙන් ගතහොත් පුද්ගලයින් 7,757කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නිකුත් කළ නවතම දත්ත ඇතුළත් සම්පූර්ණ තත්ත්ව වාර්තාව මෙසේය.
සැඩ පහරට හසුවීමෙන් පුද්ගලයෙකු මියයයි
අයහපත් කාලගුණයේ ඛේදජනක ප්‍රතිඵලයක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (22) පස්වරුවේ පැවැති තද වර්ෂාවත් සමඟ ඇති වූ සැඩ පහරකට හසුවී ගසාගෙන යාමෙන් මෙම මරණය සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.
දිස්ත්‍රික්ක 4ක ජන ජීවිතයට බාධා: පවුල් දහස් ගණනක් පීඩාවට
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක පුද්ගලයින් 7,757 දෙනෙකු (පවුල් 1,966ක්) පීඩාවට පත්ව සිටිති. මෙයින් පීඩාවට පත් පුද්ගලයින් 201 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත මධ්‍යස්ථාන 6ක තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන ඇත. දේපළ හානි සම්බන්ධයෙන් වාර්තා වන පරිදි නිවාස 2ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවාස 123කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ. ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම අගය මිලිමීටර් 137.80කි.
ඉදිරි කාලගුණ අනාවැකිය: බස්නාහිර සහ සබරගමුවට මි.මී. 100 ඉක්මවූ තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී.
මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇතිවිය හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ मඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුර, උතුරුමැද, වයඹ, දකුණ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 30-40ත් අතර තද සුළං බලාපොරොත්තු විය හැකිය.
මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ අනතුරු ඇඟවීමක්
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. ඉදිරි පැය 24 තුළ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද රළු විය හැකිය. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක.
ධීවර සහ නාවික ප්‍රජාව වෙත විශේෂ දැනුම්දීම:
පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 3.0 දක්වා ඉහළ යා හැකි අතර (මෙය ගොඩබිමට පැමිණෙන රළ නොවේ), ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති වී මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.
ගංවතුර තත්ත්වය: අත්තනගලු ඔයේ අවදානම තවදුරටත්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්තනගලු ඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇත. පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව වාර්තා වුවද, දැනට ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි ගඟේ නාගලගම වීදිය, ඇල්ලගාව සහ මිල්ලකන්ද යන ස්ථානවල ජල මට්ටම්වල කැපී පෙනෙන වැඩිවීමක් නොමැත. කෙසේ වෙතත්, නැවත අධික වර්ෂාවක් ඇති වුවහොත් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් පහත් බිම්වාසීන් විමසිලිමත් විය යුතුය.
දිස්ත්‍රික්ක 6කට නායයෑම් නිවේදන: රත්නපුරෙන් රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
රතු නිවේදන (ඉවත් වීම්): කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, අයගම, රත්නපුර.
දෙවන මට්ටම (අවදානයෙන් සිටීම): කොළඹ (සීතාවක, පාදුක්ක), ගම්පහ (අත්තනගල්ල), කළුතර (බුලත්සිංහල, හොරණ, ඉංගිරිය, පාලින්දනුවර), කෑගල්ල (යටියන්තොට), රත්නපුර (පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල).
පළමු මට්ටම (විමසිලිමත් වීම): ගම්පහ (මීරිගම, දිවුලපිටිය), කළුතර (අගලවත්ත, මතුගම), කෑගල්ල (බුලත්කොහුපිටිය), නුවරඑළිය (අඹගමුව).
රත්නපුර උදාකල ගම්මානයේ නායයෑම නැවත සක්‍රීය වෙයි
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ලැල්ල ග්‍රාම නිලධාරි වසමට අයත් උදාකලගම ප්‍රදේශයේ පෙර හඳුනාගත් නායයෑම් තත්ත්වයක් ඊයේ (22) උදෑසන 6:30ට පමණ නැවත සක්‍රීය වී ඇත. මෙම ස්ථානය 2025 වර්ෂයේදී අධි අවදානම් කලාපයක් ලෙස NBRO භූවිද්‍යාඥයින් විසින් නම් කර තිබූ අතර, සක්‍රීය වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් එතැනට යාබදව පදිංචිව සිටි පවුල් 12ක් ආරක්ෂිතව තාවකාලික මධ්‍යස්ථාන වෙත ඉවත් කර තිබේ.







