ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත සපයනු ලබන විවිධ සේවාවන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නව පියවරක් තබා තිබේ. ඒ අනුව පොලිස් සේවාවන් පිළිබඳ මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා මෙන්ම යෝජනා සෘජුවම ලබාගැනීම වෙනුවෙන් විශේෂ QR කේත (QR Code) පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි, ජනතාවගේ ප්‍රතිචාර සෘජුව සහ කඩිනමින් ලබාගැනීම මෙහි අරමුණයි. මේ වෙනුවෙන් “Sri Lanka Police Community Feedback Portal” නමින් සුවිශේෂී මාර්ගගත ඩිජිටල් වේදිකාවක් (Online Digital Platform) නිර්මාණය කර තිබේ.
මෙමඟින් පුරවැසියන්ට වඩාත් පහසුවෙන් සහ විනිවිදභාවයකින් යුතුව තම අදහස් පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමේ අවස්ථාව හිමිවේ. මෙම තොරතුරු ක්‍රමවත්ව විශ්ලේෂණය කරමින්, ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලී පොලිස් සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙම QR කේතය භාවිත කිරීමේදී ජනතාවට තමන්ට අදාළ අංශය (අදහස, පැමිණිල්ල, ප්‍රශංසාව හෝ යෝජනාව) ඉතා පහසුවෙන් තෝරාගත හැක. එසේම තමන් කැමති නම් පමණක් පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමටත්, නැතහොත් නිර්නාමිකව අදහස් දැක්වීමටත් මෙහිදී අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. මීට අමතරව අදාළ පොලිස් ස්ථානයට පැමිණීමට හේතු වූ කාරණය හෝ සිදුවීම පිළිබඳ සවිස්තරාත්මකව පද්ධතියට ඇතුළත් කිරීමට ද පහසුකම් සලසා ඇත.
මෙම QR කේත පද්ධතියට අමතරව, ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියට පිවිස එහි ඇති ‘E-Services’ ඔස්සේ ද මෙම ‘Community Feedback Portal’ වෙත පිවිසීමේ හැකියාව මහජනතාවට පවතී. දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල මහජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථාන වන පිළිගැනීමේ අංශ සහ චෝදනාගාර ආසන්නයේ මෙම QR කේත පුවරු ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාව මේ පිළිබඳව දැනුවත් කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ට මඟ පෙන්වීම් සිදුකරන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.







