බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනට ලබන ජූනි මස 16 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබා දෙන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට වැඩිදුරටත් නියෝග කළේ සැකකරුගෙන් ලබා ගන්නා රුධිර සාම්පල මඟින් සිදුකරන ඩී.එන්.ඒ. පරීක්ෂණයේ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
නිට්ටඹුව පොලිසිය අද දින අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් මඟින් මෙම සිද්ධියට අදාළ කරුණු දක්වනු ලැබීය. එහිදී පොලිසිය සඳහන් කළේ, අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 04 වැනිදා, වින්දිත දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් ලේ තැවරුණු ඇඳුම් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවයි. රස පරීක්ෂකවරයා විසින් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති බවද පොලිසිය පැවසීය.
එම රස පරීක්ෂක වාර්තාවට අනුව, දැරියගේ ඇඳුම්වල ඩී.එන්.ඒ. ඇලීල (Alleles) තැන්පත් වී ඇති බවට තහවුරු වී ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. එම ඩී.එන්.ඒ. ඇලීල සැකකාර පල්ලේගම හේමරතනගේ ඩී.එන්.ඒ. සමඟ සැසඳීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බැවින්, රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබා දෙන ලෙස සැකකරුට නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න, මේ මස 16 වැනිදා රස පරීක්ෂක කාර්යාලය වෙත ගොස් රුධිර සාම්පල ලබා දෙන ලෙස සැකකරුට නියෝග කළේය.
බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන මීට පෙර රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අතර, පසුව ඔහු ඇප මත මුදා හැර තිබිණි.







