2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව මෙවර උසස් පෙළ හැදෑරීම සඳහා සිසුන් 225,748 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි පවසයි.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙහිදී සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් විශිෂ්ටයින් සංඛ්‍යාව 11,790ක් බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළාය.
පසුගිය වසරට සාපේක්ෂව මෙවර විද්‍යාව සහ ගණිතය යන ප්‍රධාන විෂයන් දෙකෙහි සමත් වීමේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
ඒ අනුව මෙවර විද්‍යාව විෂය සමත් වීමේ ප්‍රතිශතය 70.1%ක් ලෙස සටහන් වන අතර පසුගිය වසරේ එම ප්‍රතිශතය පැවතියේ 69.07%ක් වශයෙනි. මීට අමතරව පසුගිය වසරේ 71.06%ක් ලෙස පැවති ගණිතය විෂයේ සමත් වීමේ ප්‍රතිශතය මෙවර 72.03%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.









