ජාලිය වීරක්කොඩි –
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා 2025/2026 වාරයේදී ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය තුළ සිදුව ඇති අතිශය බරපතල මූල්‍ය වංචාවන් සහ ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම් රැසක් පසුගිය අප්‍රේල් 09 වැනිදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.
පැය 6කට ආසන්න කාලයක් ඉතා උණුසුම් මුහුණුවරකින් පැවති මෙම සාකච්ඡාවේදී ලංකා ගල් අඟුරු සමාගමේ පාලනාධිකාරිය දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර, මෙම දූෂිත ගනුදෙනු හේතුවෙන් රජයට රුපියල් මිලියන 2,237.7ක අතිවිශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බව විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාව මගින් තහවුරු වූයේය. එහිදී අනාවරණය වන්නේ තිගස්වන සුළු තොරතුරු සමුදායකි.
-
ලියාපදිංචි නොවූ සමාගමකට ටෙන්ඩරය පිරිනැමීම
ජාතික විගණන කාර්යාලය විසින් 2026 අප්‍රේල් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවට අනුව, මෙම ගල් අඟුරු සැපයුම භාර දී ඇති ඉන්දියානු සමාගමක් වන ට්‍රයිඩන්ට් Chemphar Ltd (Trident Chemphar Ltd) ආයතනය, ලංසු කැඳවන දිනය වූ 2025 අගෝස්තු 18 වන විටත් නිසි පරිදි ලියාපදිංචි වී නොතිබූ බව හෙළි වී තිබුණේය.
ලියාපදිංචි ගාස්තු පවා ගෙවා නොතිබූ, සුදුසුකම් සපුරා නොමැති මෙවැනි සමාගමකට ටෙන්ඩරය පිරිනැමීම ප්‍රසම්පාදන මූලධර්ම සහ සාධාරණත්වය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ට්‍රයිඩන්ට් සමාගම ඇතුළු ලියාපදිංචි නොවූ සමාගම් තුනකටම මෙලෙස ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසී තිබීම මේ තත්ත්වයේ බරපතලකම අතිශය තීව්‍ර කර තිබුණේය. උක්ත කරුණු අනාවරණය කරමින් විගණනය නිරීක්ෂණය කළේ මෙම ගනුදෙනුව පසුපස බරපතල අක්‍රමිකතාවයක් පවතින බවය.
-
ප්‍රතීතනය නොමැති පර්යේෂණාගාර සහ ගුණාත්මකභාවයේ ගැටලු
කෝප් කමිටු හමුවේ ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා කළ ප්‍රධානතම අනාවරණය වූයේ, ට්‍රයිඩන්ට් සමාගම විසින් ගල් අඟුරු නැව්ගත කරන වරායේදී (Loading Port) සාම්පල පරීක්ෂාව සඳහා යොදාගත් පර්යේෂණාගාරවලට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රතීතනය (Accreditation) නොතිබූ බවය.
විශේෂයෙන් ඉන්දුනීසියාවේ PT Mitra SK Analisa Testama Samarinda පර්යේෂණාගාරයේ බලපත්‍රය 2025 දෙසැම්බර් 29 වන විට අවලංගු වී තිබූ අතර, Mitra SK South Africa ආයතනය නිකුත් කළ වාර්තාවලට ද නිසි ප්‍රතීතනයක් නොතිබූ බව විගණනයේදී අනාවරණය විය.
මෙම තත්ත්වය දැන සිටියදීත් ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් විකල්ප පරීක්ෂණ ක්‍රමවේදයන් සඳහා යොමු නොවී, එම දූෂිත වාර්තා මත පදනම්ව ගල් අඟුරු තොග බාරගෙන තිබිණි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස 36 තිස්සේ සැපයූ ගල් අඟුරුවල කැලරිෆික් අගය (GCV) තිබිය යුතු 5,900 kcal/kg මට්ටමට වඩා බෙහෙවින් අඩු වූයේය. ඇතැම් තොග පවතින්නේ ප්‍රතික්ෂේප කළ යුතු (Rejected Level) මට්ටමේ වුවද, ඒවා පද්ධතියට බාරගෙන ඇති බව හෙළිවිය.
පර්යේෂණාගාර වාර්තා සහ ලක්විජය බලාගාරයේ පාලන ඒකකයේ දත්ත අතර විශාල පරස්පරතාවයක් පැවතීම තුළින් මෙම වංචාවේ බරපතලකම මනාව පැහැදිලි විය.
-
මූල්‍ය අලාභය සහ සැපයුම් අර්බුදය
බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා අධික ගල් අඟුරු ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීමෙන් රුපියල් මිලියන 2,237.7ක අලාභයක් සිදුවී ඇති බව ඇස්තමේන්තු කර ඇත.
මීට අමතරව, බලාගාරයේ උපරිම අවශ්‍යතාවය පැවති 2025 නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා වූ දින 40ක කාලය තුළ කිසිදු ගල් අඟුරු නැවක් ගෙන්වා ගැනීමට සමාගම අපොහොසත් වී ඇත.
2026 මාර්තු 20 වන විට ගොඩබෑ යුතුව තිබූ නැව් 18කින් පැමිණ ඇත්තේ නැව් 12ක් පමණි. මේ හේතුවෙන් සැපයුම්කරුගෙන් රුපියල් මිලියන 2,332.5ක දඩ මුදලක් අයකර ගත හැකි බව විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.
විගණකාධිපතිවරයාගේ නිර්දේශ
මෙම පද්ධතිමය බිඳවැටීම වැළැක්වීම සඳහා විගණකාධිපතිවරයා විසින් ප්‍රධාන නිර්දේශ 9ක් ඉදිරිපත් කර කර තිබිණි.
- සැපයුම්කරුවන්ගේ ලියාපදිංචි ක්‍රියාවලිය ශක්තිමත් කිරීම
ලංසු කැඳවන දිනයේදී සම්පූර්ණ ලියාපදිංචිය (ලියාපදිංචි ගාස්තු ගෙවීම ඇතුළුව) සිදු නොවූ සමාගම්වලට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා නොදීම. ලියාපදිංචි නොවූ හෝ පෙර අවස්ථාවලදී ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ සමාගම්වලට අනාගතයේදී ලංසු ඉදිරිපත් කිරීම තහවුරු කිරීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම.
- ප්‍රතීතන ලත් ස්වාධීන පරීක්ෂක සහ පර්යේෂණාගාර භාවිතය තහවුරු කිරීම
Loading portහිදී භාවිතා කළ පර්යේෂණාගාරවල (උදා: PT Mitra SK Analisa Testama Samarinda සහ Mitra SK South Africa) ප්‍රතීතන බලපත්‍රය යාවත්කාලීනව තිබීම සහ ඒවා සත්‍යාපනය කිරීම අනිවාර්ය කිරීම. බලපත්‍රය අවලංගු වී තිබියදීත් වාර්තා භාවිතා කිරීම වැළැක්වීම සඳහා විකල්ප ස්වාධීන පරීක්ෂකයෙකු පත් කිරීමේ ක්‍රියාවලියක් සකස් කිරීම.
- ගුණාත්මකභාවය පරීක්ෂාවේදී ස්වාධීන අධීක්ෂණය ශක්තිමත් කිරීම
සෑම නැව්ගත කිරීමකදීම ගැනුම්කරුගේ (ලංකා ගල් අඟුරු සමාගම) බලපත්‍රලත් නියෝජිතයින් දෙදෙනෙකුට අහඹු පදනමක් මත පැටවුම් වරායේදී සාම්පල ලබාගැනීම සහ විශ්ලේෂණය අධීක්ෂණය කිරීමේ හැකියාව තහවුරු කිරීම. ගුණාත්මකභාවයේ ගැටලු පවතී නම් ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
- Loading port වාර්තා සහ බලාගාරයේ දත්ත අතර නොගැලපීම් සත්‍යාපනය
Loading port වාර්තා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධාන පාලන ඒකක දත්ත අතර විශාල නොගැලපීම් තිබියදී විකල්ප ක්‍රම භාවිතා කර සත්‍යාපනය කිරීම. මෙය නිතිපතා සිදුකිරීම සඳහා අභ්‍යන්තර යාන්ත්‍රණයක් සකස් කිරීම.
- සැපයුම් කාලසීමාවන් හා තොග පාලනය
උපරිම අවශ්‍යතාවය තිබූ කාලවලදී (උදා: 2025 නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා දින 40ක කාලය) ගල් අඟුරු ආනයනය නොකිරීම වැළැක්වීම සඳහා සැලසුම්කරණය ශක්තිමත් කිරීම. අවශ්‍යතාවයට සරිලන පරිදි තොග මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සකස් කිරීම.
- දඩ මුදල් අයකර ගැනීම සහ මූල්‍ය අලාභ අවම කිරීම
බාල ගල් අඟුරු නිසා සිදුවූ අධික පරිභෝජනය (over-consumption) හේතුවෙන් ඇස්තමේන්තුගත අලාභය රුපියල් මිලියන 2,237.7ක් වන අතර, සැපයුම්කරුගෙන් රුපියල් මිලියන 2,332.5ක දඩ මුදල් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය සහ පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම.
- අභ්‍යන්තර පාලනයන් හා අධීක්ෂණය ශක්තිමත් කිරීම
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සියලු අදියරවලදී අභ්‍යන්තර පාලනයන් (internal controls) ශක්තිමත් කිරීම. සැපයුම්කරු තේරීම, ගුණාත්මකභාවය පරීක්ෂාව සහ ගෙවීම් ක්‍රියාවලියේ විනිවිදභාවය ඉහළ නැංවීම.
- Spot procurement (ක්ෂණික මිලදී ගැනීම්) සීමා කිරීම සහ පාලනය
දිගුකාලීන කොන්ත්‍රාත්තුවලට වඩා spot procurement මත අධික යැපීම අඩු කිරීම. Spot ටෙන්ඩර්වලදී ගුණාත්මකභාවය පාලනය කිරීමේ අවදානම අවම කිරීමට විශේෂ යාන්ත්‍රණ සකස් කිරීම.
- පුනරාවර්තන දෝෂ වැළැක්වීම සඳහා පද්ධතිමය ප්‍රතිසංස්කරණ
2016 සහ 2022 විගණන වාර්තාවලදී සඳහන් වූ සමාන දුර්වලතා නැවත නොසිදුවීම සඳහා ප්‍රසම්පාදන නීතිරීති, සැපයුම්කරු තේරීමේ මූලධර්ම සහ ගුණාත්මකභාවය පරීක්ෂා ක්‍රමවේද යාවත්කාලීන කිරීම. ආර්ථික හා සමාජීය බලපෑම් අවම කිරීම සඳහා සම්පූර්ණ පද්ධතිමය ප්‍රතිසංස්කරණයක්.
දූෂණයට මුල් වූ ගැටුම
නොරොච්චෝලේ ගල් අඟුරු ගනුදෙනුව වටා ගෙතී ඇති අර්බුදය හුදු තාක්ෂණික දෝෂයක් නොව, ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සහ විධායක නිලධාරී යාන්ත්‍රණය මෙහෙයවන බලධාරීන් අතර ඇති වූ දරුණු මත ගැටුමක ප්‍රතිඵලයක් බව සත්‍යාපිත තොරතුරු මගින් මේ වනවිට අනාවරණය වේ. මෙම ගැටුමේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ‘ප්‍රසම්පාදන නීති’ සහ ‘ප්‍රතීතනය නොමැති පර්යේෂණාගාර’ සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණයන්ය.
විමර්ශන තොරතුරුවලට අනුව, සභාපති ජයන්ත රත්නායක සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර තීරණාත්මක මතභේද කිහිපයක් පැන නැගී ඇත. එහි ප්‍රධාන කරුණු මෙසේය:
සපයා ඇති ගල් අඟුරු ප්‍රතික්ෂේප කිරීම: ට්‍රයිඩන්ට් සමාගම විසින් සපයන ලද ගල් අඟුරු තොගවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුවේදී, එම තොග බාර නොගන්නා ලෙසත් සැපයුම්කරුට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසත් සභාපතිවරයා උපදෙස් දී තිබේ.
සභාපතිවරයාගේ මෙම ස්ථාවරයට අමාත්‍යාංශ ලේකම්වරයා සහ ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා එකඟ වී නොමැති බව වාර්තා වේ. ඔවුන් පෙන්වා දී ඇත්තේ ගල් අඟුරු තොග බාර නොගැනීමෙන් බලාගාරය අක්‍රිය වී රටම අඳුරේ වැටීමේ අවදානමක් පවතින බවය. නිලධාරී යාන්ත්‍රණය විසින් දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් කරනු ලබන ‘තාක්ෂණික යුක්ති සහගත කිරීම්’ (Technical Justifications) හරහා දූෂිත තීරණ ක්‍රියාවට නැංවීමට කරන ලද බලපෑමේ ප්‍රමාණය දැන් හෙළිදරවු වෙමින් ඇත.
කෝප් කමිටුවේදී හෙළි වූ පරිදි, ලංකා ගල් අඟුරු සමාගමේ විධායක නිලධාරීන් විසින් ප්‍රතීතනය නොමැති පර්යේෂණාගාර වාර්තා මත පදනම්ව බාල ගල් අඟුරු බාරගෙන ඇත්තේ, එසේ නොකළහොත් රටේ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බවට වූ ‘බිය’ ප්‍රතිපත්ති සම්පාදකයින් තුළ ඇති කිරීමට උත්සාහ කරමිනි.
සෘජු ලිපි හුවමාරුව: සභාපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ අභ්‍යන්තර ලිපි මගින්, ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන් පිළිබඳව ලිඛිතව අනතුරු ඇඟවීම් කර ඇති බව සත්‍යාපනය වී ඇත.
එමෙන්ම සත්‍යාපිත තොරතුරු මගින් අනාවරණය වන පරිදි, මෙම දූෂිත ගනුදෙනුවලට එරෙහිව දේශපාලන අධිකාරිය නියෝජනය කළ සභාපති ජයන්ත රත්නායක සහ විධායක යාන්ත්‍රණය මෙහෙයවන අමාත්‍යාංශ ලේකම්වරයා අතර බරපතල විරසකයක් පැවතී ඇත.
සභාපතිවරයා විසින් ප්‍රමිති විරෝධී ගල් අඟුරු ප්‍රතික්ෂේප කිරීමට ගත් උත්සාහයන්, අමාත්‍යාංශ මට්ටමින් එල්ල වූ පරිපාලනමය බාධා කිරීම් හමුවේ අසාර්ථක වී ඇති බව පෙනේ. කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට සභාපතිවරයාට තිබූ අවස්ථාව අහුරා දැමීම සහ ‘නම නැතිව ලිපි යැවීමේ’ සංස්කෘතියක් නිලධාරීන් තුළ ගොඩනැගී තිබීමෙන් පැහැදිලි වන්නේ, දූෂිත ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් නිලධාරී යාන්ත්‍රණය විසින් දේශපාලන පත්වීම් ලත් නිලධාරීන්ගේ බලය පවා අභිබවා ගොස් ඇති ආකාරයයි.
කෝප් කමිටුවට ඉදිරිපත් කළ නියෝජිත ලැයිස්තුවෙන් සභාපතිවරයාගේ නම ඉවත් කිරීමට අමාත්‍යාංශ මට්ටමින් තීරණයක් ගෙන තිබූ බවට සැක කෙරේ. සභාපතිවරයා එහි පැමිණියේ නම්, නිලධාරී යාන්ත්‍රණය විසින් සිදු කළ අක්‍රමිකතා ප්‍රසිද්ධියේ හෙළිවීමේ අවදානමක් පැවතීම මීට හේතුවය.
මෙය දේශපාලන පත්වීමක් ලත් සභාපතිවරයා සහ ස්ථාවර නිලධාරී තන්ත්‍රය අතර පවතින සාම්ප්‍රදායික ගැටුම ඉක්මවා ගිය, ‘දූෂිත ගනුදෙනුවක් ආරක්ෂා කිරීමේ’ උත්සාහයක් ලෙස විගණන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේය.
ජාතික විගණන කාර්යාලය සලකුණු කරන්නේ ලංකා ගල් අඟුරු සමාගමේ අභ්‍යන්තර පාලන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවය. සභාපතිවරයාගේ විරෝධය මැද ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකුට ගෙවීම් කිරීම සහ ප්‍රතීතනය නොමැති පර්යේෂණාගාර වාර්තා පිළිගැනීම තුළින් පෙනී යන්නේ නිලධාරී යාන්ත්‍රණය විසින් සභාපතිවරයාගේ බලය අභිබවා ගොස් ඇති අයුරුය.
ඇමතිවරයාගේ මැදිහත්වීම සහ අවසාන වගකීම
වත්මන් විෂයභාර අමාත්‍යවරයා මෙම වංචාවට සෘජුවම සම්බන්ධ බවට මෙතෙක් සත්‍යාපිත ලිඛිත සාක්ෂි හමු වී නැත. නමුත්, ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින ආයතනයක මෙවැනි පද්ධතිමය බිඳවැටීමක් සිදුවීම තුළ දේශපාලන වගකීමෙන් මිදීමට ඔහුට හැකියාවක් නැත.
දැන් ජනාධිපතිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ CID පරීක්ෂණයක් ඉල්ලා තිබේ. ජනාධිපති ලේකම්වරයා අද (11) ඒ පිළිබඳව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළේය. ඉන් ගම්‍ය වන්නේ, නිලධාරීන් විසින් ඇමතිවරයා හෝ රජය ‘අන්දවා’ කටයුතු කළේද, නැතහොත් මේ පිටුපස රහසිගත දේශපාලන අනුග්‍රහයක් පැවතියේද යන්න තවමත් සැක සහිත බවය.
කෙසේ වෙතත්, විගණකාධිපති වාර්තාවේ 7 වැනි පරිච්ඡේදය මගින් පෙන්වා දෙන පරිදි පද්ධතියක් ලෙස ලංකා ගල් අඟුරු සමාගම අසාර්ථක වී ඇත්තේ නිලධාරී තන්ත්‍රය සහ දේශපාලන නායකත්වය අතර පවතින පරීක්ෂාව සහ සමබරතාවය (Checks and Balances) සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති නිසාය.
මෙවැනි සංකීර්ණ ප්‍රශ්නයක් මතුව සාකච්ඡාවට ලක්වන විට බොහෝ විට අප වඩාත් රුචිවන්නේ අපට සමීප හෝ අප විශ්වාස කරනු ලබන කෝණයක සිට එම තත්ත්වයන් විවරණය කර ගැනීමය. එය මනුෂ්‍ය ස්වරූපයේ නියැතියකි. අප අවබෝධ කරගත යුත්තේ ඒ කියැවීමේ ප්‍රමාණයේ ප්‍රතිඵල දරනු ඇත්තේ අපගේ දරුවන්ගේ අනාගතය බවය.
දැන් පවතින තත්ත්වය මෙසේය. මේ වනවිට ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විමර්ශන ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. දැනට පෙනෙන පරිදි දූෂිත නිලධාරී පන්තියක් රාජ්‍යයක පදනම කම්පනයට පත් කරමින් සිටී. එය වටා දේශපාලනික මෙන්ම ව්‍යාපාරික බලයක් ද වටහාගත නොහැකි වේගයෙන් කේන්ද්‍රගත වෙමින් ඇත. මේ දෙදරුම් හමුවේ ජනතා අපේක්ෂාවන් ආරක්ෂා කර පවත්වාගැනීමේ පරීක්ෂණයට රජය මුහුණ දී සිටී. එය ජාතියක අනාගතය තීන්දු කිරීමට නියමිතය.







