සූරියවැව – නුවන් ජයසේකර –
මිද්දෙණිය, අඹගස්ආර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් නිවාස දෙකක සඟවා තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා විවිධ වර්ගයේ දැව තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල විශේෂ කාර්ය බළකා (STF) නිලධාරීන් සමත්ව තිබේ.
හම්බන්තොට යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අදාළ සැකකරු නිවසක් තුළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට බුද්ධි නිලධාරීන්ට තොරතුරු ලැබී තිබූ අතර, ඒ අනුව යුද හමුදා බුද්ධි නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ තංගල්ල විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී සැකකරුගේ පළමු නිවස සෝදිසි කිරීමේදී රහසිගතව සඟවා තිබූ තේක්ක, කොස්, බුරුත, මහෝගනී සහ කැටකාල ඇතුළු ඉතා වටිනා දැව තොගයක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය.
පසුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට අයත් තවත් නිවසක සඟවා තිබූ තවත් ලී තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ ගංජා වගා කිරීමේ නිරත පුද්ගලයෙකු බවයි. ඔහු විවිධ පුද්ගලයන් යොදා ගනිමින් රක්ෂිත කැලෑ හෙළිකර ගංජා වගා කර ඇති අතර, එහිදී කපා බිම හෙළන වටිනා දැව මෙලෙස රහසිගතව ඉරා ප්‍රවාහනය කර නිවාස දෙක තුළ සඟවා තබා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල විශේෂ කාර්ය බළකාය සහ මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.









